ජලය නැතුවත් ජිවත් වන අපුරු මාළුවා...

Marbled Lungfish/Leopard Lungfish (Proptopeterus aethiopicus aethiopicus)


වාසස්ථාන/ව්‍යාප්තිය හා පසුබිම

අප්‍රිකාවේ ජලාශ සහ නයිල් ගංගාවෙන් හමු වී ඇති මේ මත්ස්යාට මේ නම කියන්න හේතුව පින්තුරේ දුටු ගමන් ම වැටහෙන්න ඇති නේද? මෙයාගේ ඇඟේ තියෙන මේ අපුරු රටා නිසා තමා මේ නම් ලැබිල තියෙන්නේ.

මෙයාලා Diponi කියන ආදිකල්පිත මත්ස්‍ය උපවර්ගයේ සාමාජිකයින්. සමහරු මෙයාලා ලෝක ආරම්භයේ සිටම පැවතගෙන එන ජීවින් විශේෂයක් බවට මත පල කරනවා. මෙයාලට සාමාන්‍ය වායුගෝලයේ දී හුස්ම ගන්න පුළුවන්. ෆොසිල සාක්ෂි වලින් සනාථ වෙලා තියෙන විදියට වසර මිලියන ගණනාවක් තිස්සෙම මෙයාලගේ කායික ව්‍යුහයේ කිසිදු වෙනස් කමක් සිදු වෙලා නෑ . එක්තරා යුගයක දී ලොව පුරාම පුළුල් ව්‍යාප්තියක් පැවතුනත් වර්තමානයේ දී මධ්‍යම දකුණු ඇමෙරිකාව, මධ්‍යම අප්‍රිකාව සහ නැගෙනහිර මධ්‍යම ඔස්ට්‍රේලියාව යන ප්‍රදේශ වලට සීමා වෙලා තියෙනවා. අතීතයේදී කරදියේත් වාසය කල බව පැවසුනත් මෙයාල දැන් නම් මිරිදියේ විතරයි ඉන්නේ. එදා මෙදා තුර ලන්ග් ෆිෂ්ලගේ සිදු වූ එකම වෙනස ත් එය බවයි සඳහන් වෙන්නේ.

වාතයේ මෙන්ම ජලයේ දී ත් ඔක්සිජන්  ලබාගැනීමේ හැකියාව නිසා මෙයාට Lungfish කියන නම ලැබිලා තියෙනවා. අනෙකුත් සියලු මත්ස්‍ය විශේෂ වලට වඩා වෙනස් ශ්වසන අවයව තමා මෙයාලට තියෙන්නේ. දිය පොදක් වත් නැති ඉතා වියලි කාලයේදී උනත් මෙයාලට දිවි රැකගැනීමේ හැකියාව තියෙනවා. වියලි කාල වලදී සිඳී ගිය ගංගා , වගුරු වල වසන මොවුන් වාසය සඳහා හුල් හාර ගන්නවා. එහි කුඩා විවරයක් තියාගන්නේ හුස්ම ගන්න. 

මේ විදියට කාලයක් ඉන්න මෙයාලා වැස්සක් ආපු ගමන් ආයෙම මාලුවෙක් වගේ ජිවත් වෙන්න පටන් ගන්නවා. හරිම අපුරුයි නේද? මේ විදියට වියලි කාලය ලන්වෙනකොට තමන් ම වලලගන්න ලන්ග්ෆිෂ් ට මේ විදියට වසර 3-4 ක් උනත් ඒ විදියට ජිවත් වෙන්න පුළුවන්.
මේ අරුම පුදුම ජීවියා ඇතිකරන්න හොඳ මාලුවෙක් J

කලහාකාරී මාලුවෙක් නොවුනත් තනියම තමා ඇතිකරන්න සුදුසු. ලොකු කට සහ පෙරේතකම නිසා කටට දාගන්න පුළුවන් ඕන එකෙක් කාල දානවා 


මාබල්ඩ් ලන්ග්ෆිෂ් (Marbled Lungfish) එහෙමත් නැත්නම් ලෙපර්ඩ් ලන්ග්ෆිෂ් (Leopard Lungfish) කියන්නේ Protopteridae පවුලට අයත් ලන්ග්ෆිෂ් විශේෂයක්. Protopteridae පවුල Protopterus නම් එක ගණයකින් සමන්විත වන අතර එම ගණයට විශේෂ හතරක් අයත් වෙනවා. මෙම Protopterus aethiopicus විශේශයටත් තවත් උප විශේෂ තුනක් අයත් වෙනවා. මෙම මාබල්ඩ් ලන්ග්ෆිෂ් උප විශේෂ තුනම අප්‍රිකාවේ දක්නට ලැබෙන අතර ගංගා හා ජලාශ ගැටී ආශ්‍රිතව, වගුරු සහ පිටාර තැනි වල මොවුන් ජිවත් වෙනවා. සාමාන්යෙන් වැඩුණු ලන්ග්ෆිෂ් නොගැඹුරු මුල් ගොමු ආශ්‍රිතව හමු වෙනවා . ප්‍රධාන වශයෙන් මොලුස්කාවන් ආහාරයට ගන්නා මොවුන් මාළු සහ කෘමින් යම් පමණකට ආහාරයට එකතු කරගන්නවා.




මාබල්ඩ් ලන්ග්ෆිෂ් උප විශේෂ.

  
1. Prototerus
aethiopicus aethiopicus 

වර්ෂ 1851 දී Heckel විසින් නයිල් ගංගාවේ සිටිය දී මොවුන් හඳුනාගෙන ඇති අතර Albert, Edward, Victoria, Nabugabo, Tanganyka සහ Kyog යන මිරිදිය ජලාශ වලින්ද මොවුන් හමු වී ඇත.



2. Prototerus aethiopicus congicus 
වර්ෂ 1961 දී Poll විසින් මොවුන් හඳුනාගෙන ඇත්තේ කොන්ගෝ ගංගා ද්‍රෝණියේ සිටියදී ය . උපරිම වර්ධනය අඩි තුනක් පමණ වේ.



1 3.Prototerus aethiopicus mesmaekersi 

මෙම උප විශේෂයත් වර්ෂ 1961 දී Poll විසින් හඳුනාගෙන ඇත්තේ කොන්ගෝ ගංගා ද්‍රෝණියේ දී ය. උපරිම වර්ධනය අඩි 3 1 /4 ක් පමණ වේ.

අනෙකුත් අප්‍රිකානු ලන්ග්ෆිෂ් විශේෂ

1.     Protopterus amphibious
(East African Lungfish/Gilled African Lungfish)


වර්ෂ 1844 දී W.K.H. Peters විසින් හඳුනාගෙන ඇති අතර කුඩාම ලන්ග්ෆිෂ් විශේෂය යි. උපරිම වර්ධනය අඟල් 24ක් පමණ වන අතර සිරුර නිල හෝ ගල්පතුරු පැහැ අළුපාටකින් යුක්තය. පෙනෙන නොපෙනෙන තරම් වූ කළු තිත් සහිතය. සිරුරේ යටි පැත්ත දීප්තිමත් නොවන අලුපැහයකි.

1.     Propterus annectens


දුඹුරු හෝ ඔලිව් පැහැති සිරුරේ විශාල දුඹුරු හෝ කළු ලප සහිතය. සිරුරේ යටි පැත්ත ද එම වර්ණයම දරන මුත් ලප දක්නට නැත. සිරුරේ හැඩය ආඳකු මෙන් දිගටිය. නෙරා ගිය හොම්බ, කුඩා ඇස් , බාහිරින් පිහිටා ඇති  කරමල් තුනක් හා යුගල 34-37 පමණ වල ඉල ඇට පෙළ අනෙකුත් ශරීර ලක්ෂණ වේ. අඟල් 39 ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන්ගේ වරල් දිගුය. ලය වරල සිහින් ය. අණ්ඩාකාර ස්වරුපයක් ගනී. මෙහි උපවිශේෂ දෙකකි.

I.                    Prototerus annectens annectens 

(West African Lungfish/Tana Lungfish)
වර්ෂ 1839 දී Owen විසින් හඳුනාගන්නා ලදී 

II. Prototerus annectens brieni 
(Southern Lungfish) 

                                         වර්ෂ 1961 දී Poll විසින් හඳුනාගන්නා ලදී.


1.     Protopterus dolloi
(Slender Lungfish/Spotted Lungfish)



වර්ෂ 1900 දී Boulenger විසින් හඳුනාගන්නා මොවුන් කොන්ගෝ රාජ්‍යයේ Kouilou-Niari ගංගා ද්‍රෝණිය , Gabon රාජ්‍යයේ Ogawe ගංගා ද්‍රෝණිය , කොන්ගෝ ගංගා ද්‍රෝණියේ පහල හා මධ්‍යම ප්‍රදේශ වලින් හමු වේ. අඟල් 51 ක පමණ උපරිම වර්ධනයක් පෙන්වයි.

lඅප්‍රිකානු ගෝත්‍ර බොහොමයක ප්‍රමුඛස්ථානයක් ගන්නා  ආහාර ප්‍රභවයක් ලෙස ලන්ග්ෆිෂ් වර්ග හඳුන්වන්න පුළුවන්. වියලි කාලයේදී අලුත් මාළු අවශ්‍යතාවය සපුරා ගන්න ගුල්වල ඉන්න ලන්ග්ෆිශ්ලා අල්ලා ගන්නවා. ඔවුන් හරිම සරල උපක්‍රමයක් තමා ඒකට පාවිච්චි කරන්නේ. ඒ තමා ගුල් වලට ජලය යෙදීම. ජලය දැම්ම ම ලන්ග්ෆිෂ් නිකම්ම එලියට එනවා වැස්සක් කියල හිතල. ගෝත්‍රික කාන්තාවන් නම් මොවුන් ආහාරයට ගන්නේ නෑ ලු. ඒකට හේතුව ඔවුන් ලන්ග්ෆිෂ් තම සහෝදරියන් ලෙස සලකන නිසා. මොනවා උනත් ඒකෙන් ලන්ග්ෆිෂ්ගේ දිවි රැකෙන එක වටිනවා. l


මාබල්ඩ් ලන්ග්ෆිෂ් / ලෙපර්ඩ් ලන්ග්ෆිෂ්



දිගටි සිලින්ඩරාකාර හැඩති සිරුරේ ගැඹුරට කා වැදුණු කොරපොතු සහිත ය. දිගු වල්ගයක් ඇති අතර එය අගිස්සට වන විට ක්‍රමයෙන් සිහින් වේ. ළය වරල් සහ ශ්‍රෝණි වරල් ද සිහින් දිගටි ස්වරුපයක් ගනී. අඩි හයක පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන් රාත්තල් 25ක් පමණ බරකට ලඟා වේ. උපරිම ආයු කාලය වසර 20ක් පමණ වේ.

වර්ණයෙන් කහ පැහැයට හුරු අළු පාටක් හෝ රෝස වර්ණයට හුරු පාටක් ගන්නා මොවුන්ගේ සිරුරු ගල්පතුරු වැනි තද  අළු පැහැයෙන් වැටුණු පැල්ලම් වලින් යුක්තය. එමගින් සිරුරේ සහ වරල් වල මාබල් ඇල්ලුවා වගේ / දිවියෙකුගේ වගේ වර්ණ රටාවක් නිර්මාණය වෙලා තියෙනවා . අලුත උපන් පැටවුන්ගේ බාහිරින් කරමල් ඇත්තේ දිය හුනන් (Newts) ගේ ආකාරයටය . මාස දෙක තුනක් වෙනකොට මේ බාහිර කරමල් නැති වී යන අතර කරමල් විවර පමණක් ඉතිරි වේ.

                                බාහිර කරමල් සහිත Alpine Newt  (Salamander) 

අවශ්‍ය ඉඩ ප්‍රමාණය සපයනවා නම් ඉතා පහසුවෙන් ඇතිකරන්න පුළුවන් මාලුවෙක්. ගොඩක් විශාලව වැඩෙන හා දිගු ආයුකාලයක් හිමි නිසා ඉඩකඩ ඇති ටැංකියක් සපයා දීම අවශ්‍යයි. ජල අවශ්‍යතාවය අවම මොවුන් අතින් කෑම දෙන්න උනත් හුරු කරගන්න පුළුවන්.
මාංශ භක්ෂක යි. ඒ නිසා ඕනෑම මාංශමය ආහාරයක් කෑමට ගන්නවා. සජිවී, වියලි හෝ ශීතකළ මස්, මාළු, ඉස්සන් ,කුනිස්සන්, පනුවෝ , කෘමින්, බෙල්ලෝ වගේ ඕනෑම දෙයක් කෑමට දෙන්න පුළුවන්.දිව පාවිච්චි කරල ආහාරය රඳවාගෙන කන නිසා කාම වතුරට එකතු වෙලා වතුර අපිරිසිදු වෙන්නෙත් නෑ. පොඩි පැටවුන්ට දෙනකට දෙවරක් කෑම දෙන්න ඕනේ උනත් වැඩුන ලන්ග්ෆිෂ් ට සතියකට දෙතුන් වරක් කෑම දීමයි සුදුසු.

මෙයාලගේ වර්ධනය සිදුවෙන්නේ හෙමින් උනත් පීනන්න හැකි විදියට ඉඩ පහසුව තිබිය යුතුයි. අවම වශයෙන් ගැලුන් 60 ක් ( ලීටර් 227ක් ) පමණ වන ටැංකියක් වඩාත්ම සුදුසුයි. ඒ වගේම හොඳ ෆිල්ටර් පද්ධතියක් තිබීම වැදගත් . සති දෙකකට වරක් 30 % ක ජලය මාරු කරාම ප්‍රමාණවත්. ටෑන්ක් සෙටප් එක හදද්දී මඩ සහිත පතුලක් සහ හැංගෙන්න පුළුවන්
තැන් තියෙන විදියට සකස් කරන්න ඕනේ. අඩු ආලෝක තත්වයක් තමා ලබාදෙන්න ඕනේ. අතරින් පතර හුස්ම ගැනීම ට මෙයාල දිය මතුපිටට එන නිසා මතුපිට ත් බාධක වලින් තොර වීම වැදගත්. දියේ ගිලි මරුන මාලුගැන අහල තියෙනවා ද? ජල මතුපිටට ඇවිත් හුස්ම ගන්න බාධා උනොත් මෙයාල නම් දියේ ගිලි මැරෙන්න පුළුවන් ලු. හුස්ම ගන්න හැරුනම අනෙක් මුළු කාලයම මෙයාල පතුලේ තමා ගත කරන්න කැමති . වැඩියේ පිහිනන්නේ නැති කම්මැලි මාලුවෙක්. ඒ වගේම මෙයාලගේ සම හරිම සුමට නිසා තුවාල වෙන්න පුළුවන් . ඒ නිසා රළු ගල්, කොට වගේ දේවල් මෙයාලගේ නිවහනට සුදුසු නෑ. ටැංකි සකස් කිරීමේ දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. වැලි භාවිතා කරන්න පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-30 අතර පවත්වාගැනීම සුදුසුයි. ph අගය ගැන කිව්වොත් මෙයාලට පුළුල් පරාසයක ජාල තත්වයන්ට හුරු වෙන්න පුළුවන් බවයි පැවසෙන්නේ.



ලෙපර්ඩ් ලන්ග්ෆිෂ් තනියම ඇති කිරීම තමා වඩාත්ම සුදුසු . මෙයාලා කටට දාගන්න පුළුවන් ඕනෑම සතෙක් ගිලිනවා . හැබැයි ඒ බඩගින්න නිසා මිස මෙයා කලහකාරී (Aggressive) මාලුවෙක් නිසා නම් නෙමේ. ඒ වගේම මෙයාගේ ක්‍රියාකාරී ගතිය අඩු නිසා හරිම පහසුවෙන් අනිත් මසුන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙන්න පුළුවන්.

කෘතීම පරිසර වලදී මෙයාල බෝ වුන බවට සඳහනක් නම් නෑ. ස්වභාවික ව වර්ෂා කාලයට තමා අභිජනනය සිදු වෙන්නේ. ඒ භාහිර සංසේචනය මගින්. මවු මත්ස්‍යයා මඩ සහිත ගැඹුරු ගුල් වල බිත්තර තැන්පත් කරාම පැටවූ එලියට එන තෙක් වගේම ආ පසුත් ඔවුන් ආරක්ෂා කරන්නේ පිරිමි මත්ස්‍යයා විසින්. අභිජනන කාලයේ දී තවත් අපුරු දෙයක් සිදු වෙනවා. ඒ තමයි පිරිමි සත්වයාගේ ශ්‍රෝණියේ සිදුවන ව්‍යුහමය වෙනස්කම්. මේ කාලයේදී ශ්‍රෝණිය වායු පෙරනයක් ආකාරයට ක්‍රියා කරනවා,

ඒ මගින් ගුල තුල ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්නේ පැටවුන්ගේ හුස්ම ගැනීමේ පහසුවට.
වැඩුන ලන්ග්ෆිෂ් කෙනෙක් කියන්නේ හොඳ ශක්තිමත් මත්ස්‍යයෙක්. අපේ භාසාවෙන් කිව්වොත් පණ හයිය මාලුවෙක්. නමුත් අනෙක් මිරිදිය මසුන්ට හැදෙන රෝග මෙයාටත් හැදෙන්න පුළුවන්. විශේෂයෙන් ඉතා සුලභ Ich වැනි දේ. රෝග ඇතිවන මුල් අවස්තාවේ ම ප්‍රතිකාර කිරීම තුලින් මාළුවා ආරක්ෂා කරගන්න හැකියි. හොඳින් ටැංකිය නඩත්තු කරනවා නම් රෝග ඇතිවීමේ අවධානම බොහොම අඩුයි. ටැංකියට පිටතින් එකතු කරන ජලජ ශාක වැනි දෑ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ටැංකිය  හොඳින් නඩත්තු කරනවා නම් මත්ස්‍යයාට ආතතියක් ඇති වෙන්නේ නෑ . හොඳ ආහාර හා පරිසරයක් ලබා දෙනවා නම් මාළුවා සතුටින් හා සෞඛ්යසම්පන්නවා හොඳින් වැඩෙනවා .

ලන්ග්ෆිෂ් කියන්නේ මිලෙන් අධික මාලුවෙක්. මෙයාලගේ ඇලි විශේෂ (Albino) ත් ඉන්නව. බොහෝ දුරට වෙළඳපොලේ දකින්න ලැබෙන්නේ Congicus කියන විශේෂය.


  Albino Marbled Lungfish/ Albino Leopard Lungfish 

(අන්තර්ජාලය ඇසුරිනි )                                                                                                      ©Janakiecjoseph31032017










Comments

Popular posts from this blog

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)