සොබාදහමේ අපුරු නිර්මාණයක් වන අබා අබා

Aba Knife Fish (Gymnarchus niloticus)



වර්ෂ 1829 දී Cuvier විසින් හඳුනාගෙන ඇති මෙම විශේෂය Gymnarchus ගණයට අයත් එකම විශේෂය වේ. Nile, Volta, Chad, Senagal සහ Gambia ගංගා ද්‍රෝණි වලත් Rudolf විලේ ත් මොවුන් හමුවෙනවා. Aba Aba Knife Fish, Aba Knife Fish, Aba, Fresh water Rat-tail, Frankfish, සහ African Knife Fish කියන නම් වලින් හඳුන්වන්නේත් මෙයාම තමා.

මෙයාලා සාමාන්යෙන් ඉන්නේ සෙමින් ගලායන ජලය සහිත පරිසර වල . දිවාකාලයේ දී ගස්වල මුල් පද්ධති, ගුහා වගේ තැන් වල හැන්ගිලයි ඉන්නේ. වැහි කාලේදී ජලයෙන් යට වූ කැලෑ ප්‍රදේශ වලට යනවා අභිජනනයට. පිරිමි සත්වයා විසින් ඒ සඳහා අඟල් 39ක පමණ විශ්කම්භයක් ඇති ඉලිප්සාකාර විශාල පෙන කුඩුවක් හදනවා. මෙයාලා ඉතා පැහැදිලි යුගලනයක් (distinct pairing) තියෙන මත්ස්‍ය විශේෂයක්. ස්වභාවික පරිසරයේ දී ක්රස්ටේශියාවන් , මසුන්,කෘමින් , බෙල්ලන්, ගෙම්බන් හෝ ජලයට වැටෙන ඕනෑම සතෙකු කෑමට ගන්න මොවුන් ගොදුරු සොයා යන්නේ රාත්‍රී කාලයේ දී.

IUCN රතු දත්ත ලැයිස්තුවට අනුව අඩු අවධානමක් සහිත (LC) කාණ්ඩයට ඇතුලත් උනත් ප්‍රාදේශීයව ගත්තම අප්‍රිකාවේ මොවුන් අනතුරට භාජනය විය හැකි (Vulnerable) විශේෂයක් ලෙස නම් කරලා තියෙනවා. මෙයාලගේ පැවැත්මට තියෙන ලොකුම තර්ජනය තමා කැලෑ එළිකිරීම නිසා හුරු පුරුදු වාසස්ථාන අහිමි වීම හා ජල දුෂණය.


අබා අබා කියන්නේ ටිකක් අසාමාන්‍ය මාලුවෙක්. Knife Fish විශේෂ අතර උනත් මෙයාලගේ විශේෂත්වයක් දකින්න පුළුවන්. පැතලි දිගු ශරීරයක් තියෙන්නේ . හිස පෙදෙස තරමක් පිරුණු සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර වල්ග කෙලවර දක්වා ක්‍රමයෙන් සිහින්විමක් දක්වනවා. වල්ග කෙලවර ඉතාමත් සිහින්. අනෙකුත් නයිෆ් ෆිෂ් වර්ග වල බඳ පැත්තේ පිහිටා තියෙන සංචරණයට භාවිතා වන වරල මොවුන්ගේ පිහිටන්නේ ප්‍රතිවිරුද්ධ පිට පැත්තේ. එම වරලේ තරංගාකාර චලනය ඉදිරියට වගේම පසුපසටත් සිදු වෙනවා. සිරුර තද නිලට හුරු කළු පැහැයක් ගන්නා අතර බඳ පෙදෙස රිදී හෝ ක්‍රීම් පාටයි.

මෙයාට තියෙනවා විදුලිය නිපදෙන අවයවයක්. ඉතා දුබල විදුලි ධාරාවක් හිස සිට වල්ග කෙලවර අතර ගමන් කරනවා. මේ විදිලි ධාරාව අවකාශය පිලිබඳ අවබෝධයක් ලබාගන්න, ජලය මත පාවෙන දේවල් දැනගන්න, ආහාර අඳුනා ගන්න ,බාධක වලින් ඉවත් වී ගමන් කරන්න වගේම පිරිමි සතුන්ට තම සහකාරිය හොයාගන්නත් ප්‍රයෝජනවත්. පිරිමි සත්වයා ගැහැණු සත්වයා හා සන්නිවේදනය කරන්නේ ඒකාකාර විදිලි ධාරාවක් මගින්.

 ස්වභාවික පරිසරයේ දී අඟල් 65ක් පමණ ( අඩි 5 ට වැඩි ) උපරිම වර්ධනයක් පෙන්වනන්වා. හොඳින් වැඩුණු මසෙකු රාත්තල් 40ක් ඒ කියන්නේ කිලෝ 18ක් විතර බරයි. ස්වභාවිකව වසර 40ක පමණ දිගු ආයු කාලයක් හිමි මොවුන් ටැංකි තුල නම් වසර 4-14 අතර කාලයක් ජිවත් වෙනවා.

අබා අබා කියන්නේ දුලභ මෙන්ම අන්තරාදායක මත්ස්‍යයෙක්. වාණිජ මට්ටමේ මින් මැදුරකට හෝ අත්දැකීම් සපිරි මසුන් ඇති කරන්නන්නට තමා ඇතිකරන්න නිර්දේශ කරන්නේ. ඒ වගේම මේ යෝධ රෞද්‍ර සුරතලා බලාගන්න පුළුවන් ආර්ථික තත්වයකුත් තිබීම වැදගත්. බොහොම කලහකාරී මොවුන් තමන්ගේ අයිතිකරුවන්ටම පහරදුන් අවස්ථා වාර්තා වෙනවා. වතුර තත්වය හොඳින් පවත්වාගෙන හොඳින් කෑම දෙන්න පුළුවන් නම් හදන්න අපහසු නෑ. හොඳ ශක්තිමත් මාලුවෙක්.
ඉතා ඉක්මන් වර්ධනයක් තියෙන මෙයාල උපරිම අඩි පහකට වඩා වැඩෙනවා . ජලය ගැලුන් 300 හෝ ඊට වඩා වැඩි ටැංකියක් අවශ්‍යයි ආතතියකින් තොර සෞක්‍ය සම්පන්නව මෙයා ඇතිකරන්න. මෙයාගේ විශාල  ශරීර ප්‍රමාණය හා දැඩි කලහාකාරී බව නිසාමයි වාණිජ මට්ටමේ මින්මැදුරක හෝ මෙයාව සතුටින් තියාගන්න පුළුවන් තරමට දැනුම, අත්දැකීම්, ඉඩකඩ වගේම මුදලුත් තියෙන මත්ස්‍ය ලෝලියෙකුට වඩාත් සුදුසු.

අබා අබා මාංස භක්ෂක මාළුවෙක් . සජීවී ආහාර වලට කැමති උනත් කැපු මස්, මාළු වගේ දේවලට හුරු කරන්න පුළුවන්. ඉස්සන්, කුනිස්සන්, මාළු , බෙල්ලෝ වගේ දේවල් කෑමට දෙන්න පුළුවන්. ඉතාම කලාතුරකින් කුඩා කාලයේ දී flakes කෑමට ගන්නවා. කෑමට බොහොම කෑදර මෙයාට  දිනපතාම කෑම සැපයිය යුතුයි.


අබා අබා දවසින් වැඩි ප්‍රමාණයක් ගතකරන්නේ ටැංකිය පතුලේ. විනාසකාරි මාලුවෙක්.ගොඩක් කෑම ඕනේ වගේම වැඩි අපද්‍රව්‍ය ප්‍රමානෙකුත් ටැංකියට එකතු කරනවා. ඒ නිසා හොඳ කාර්යක්ෂම ෆිල්ටර් පද්ධතියක් තියෙන්න ඕනේ.බාහිරින් සවිකරන ෆිල්ටරයක් තමා යොදන්න ඕනේ. මෙයාල පහරදීලා ෆිල්ටර්/ හිටර් විනාසකරනවා. Sub – pump ආකාරයේ බාහිර ෆිල්ටර් එකක් තමා වඩාත්ම සුදුසු . හීටර යොදනවානම් ශක්තිමත් පතුලට කිඳා බහින ආකාරයේ හිටරයක් තෝරා ගැනීම සුදුසුයි. අඳුරට වඩා ප්‍රිය මෙයාලට අඩු ආලෝක තත්වයක් තමා ලබාදෙන්න ඕනේ. ටෑන්ක් සෙටප් එක හදනකොට ඇඹරුණ මුල්, සෙවන ලැබෙන ආකාරයට වැඩුන ශාක වර්ග වලින් යුතු වටපිටාවක් ඇති විදියට හදන්න ඕනේ. සතියකට සැරයක් 30%-50% අතර වතුර ප්‍රමාණයක් මාරු කරන්න ඕනේ. තදින් සවි වන වැස්මක් නම් තියෙන්නම ඕනේ. ඒක මාළුවාගේ වගේම ඇති කරන කෙනාගේ ඇඟිලි වල ආරක්ෂාවටත් බොහොම වැදගත්. සෙල්සියස් අංශක 23.3-27.8 අතර උෂ්ණත්වයක් හා 6.5-8.0 අතර ph අගය පවත්වාගැනීම සුදුසුයි. මේ යස්ස මාළුවා එක්ක වෙනත් මසුන් ඇති කිරීම නම් කොහෙත්ම සුදුසු නෑ .

ස්වභාවික පරිසරයෙන් පිටත දී අභිජනනය සිදු වූ බවට වාර්තා වෙන්නේ නෑ.  වර්ෂා කාලය ආරම්භයත් සමඟ මව් සතුන් යුවල  ජලය පිටාර ගැලු ක්ෂුද්‍ර ජීවින්ගෙන් පොහොසත් වන වදුලු සොයා යන්නේ අභිජනනය සඳහා. පිරිමි සතා විසින් සාදන පෙන කුඩුවේ ගැහැණු සතා විසින් කහ පැහැති බිත්තර 1000 ක් පමණ දමනවා. දින පහක් පමණ පැටවුන් එලියට එන තෙක් දෙදෙනාගෙන් කෙනෙකු බිත්තර ආරක්ෂා කරත් පැටවුන් එලියට ආ පසු දෙමාපියන් පැටවුන් ගැන කිසිම තැකීමක් නෑ. එලියට එන කුඩා පැටවුන් තමා විසින්ම ගොදුරු සොයාගන්නා තත්වයට පත්වන තෙක් ක්ෂුද්‍ර ජීවින් ආහාරයට ගෙන වැඩෙනවා .

හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති අබා අබා හොඳින් නඩත්තු කරන ටැංකියක සෞඛ්‍ය සම්පන්නව ඉන්න මාලුවෙක්. ටැංකියට පිටතින් එකතු කරන දේ වලින් බැක්ටීරියා වැනි රෝගකාරක  එකතු නොවෙන්න වගබලාගන්න ඕනේ. විශේෂයෙන් සජීවී ආහාර දීමේ දී රෝගී සත්වයින් ලබා දීමෙන් මොවුන් ද ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා ලබා දෙන සජීවී ආහාර නිරෝධායනය (quarantine) කිරීම කල යුතුයි.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)

©janakiecjoseph

Comments

Popular posts from this blog

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)