අපුරු ගෝල්ඩන් කෝබ්‍රා මසුන් ගැන දැන ගනිමු.
Golden Cobra
( Channa
aurantimaculata )
හැඳින්වීම
ලතින් භාෂාවෙන් දොඩම් හඳුන්වන auramtium කියන වචනය හා ලප සහිත යන තේරුම ඇති maculatus යන වචනයේ එකතුවෙන් aurantimaculata කියන නම ලැබිල තියෙන්නේ
මෙයාලගේ වර්ණ රටාව හේතුවෙන්. වර්ෂ 2000 දී Musikasithorn විසින් හඳුනා ගන්නා ලද
බව යි සඳහන් වෙන්නේ.
උතුරු ඉන්දියාවේ ඇසෑම් සහ අරුනාචල් ප්‍රදේශ වල බ්‍රහ්මපුත්‍ර
ගංගා ද්‍රෝණිය තමා මෙයාලගේ නිජබිම වෙන්නේ. ඒ වගේම මෙයාල ආවේනික විශේෂයක්.
වැඩි වර්ශාපතනයක්, ඉහල ආර්ද්‍රතාවයක් වගේම තද උණුසුමත්
පවතින ඝර්ම කලාපීය මෝසම් වැසි වනාන්තර පරිසර තත්වයක තමා මෙයාල ස්වභාවිකව
හමුවෙන්නේ.
ගෝල්ඩන් කෝබ්‍රා කියන්නේ ස්නේක් හෙඩ් පවුලේ මත්ස්‍යයෙක්.
Orangespot Snakehead කියල හඳුන්වන්නේත් මෙයාම
තමා. වර්තමානය වනවිට විසිතුරු මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය මත්ස්‍යයෙක් .මෙයාලගේ
වඩා විශාල නොවන මධ්‍යම ප්‍රමාණයේ ශරීරය , දීප්තිමත් වර්ණ රටා මේ ජනප්‍රියත්වයට
හේතු වෙලා තියෙනවා.
සිරුරේ උඩ පැත්ත කළු පැහැයට හුරු තද දුඹුරු වර්ණයක්
ගන්නා අතර එහි අක්‍රමවත් ව විහිදුනු පැල්ලම්/ලප 7-8ක් දකින්න පුළුවන්. ළය වරලේ
දිගින් 50%කට වඩා කුඩා ශ්‍රෝණි වරලක් තියෙන්නේ.ලය වරලේ කළු පැහැයෙන් පුළුල් තීරු
පහක් පිහිටලා තියෙනව.
අඟල් 14-16ක් පමණ වන උපරිම වර්ධනයක් ඇති මොවුන්ගේ ආයු
කාලය වසර 8-12ක් පමණ වෙනවා.
ගෘහස්තව ඇති කිරීම
ගෘහස්තව ඇති කරනවා නම් අවම වශයෙන් ගැලුන් 90ක වත්
ටැංකියක් තිබීම ප්‍රමාණවත්. ටැංකියේ ගැඹුර අඩු විය යුතු අතර එය අඩියකට වඩා නම් අඩු
නොවිය යුතුයි.
මඳ ආලෝකය හා ශාක වලින් යුත් පරිසරයකට ප්‍රියයි. මෙයාල
ටැංකියෙන් පනින්න හපන්නු නිසා ටැංකිය හොඳ සවිමත් වැස්මකින් යුක්ත වෙන්න ඕනේ. ඔවුන්ට ශ්වසනය කිරීමේ පහසුවට ටැංකියේ වහලය සහ ජල
මට්ටම අතර තරමක පරතරයක් තිබිය යුතුයි. වායුගෝලීය ඔක්සිජන් ලබා ගන්න නිසා ජලයේ
ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නම් ගැටළුවක් නෙමේ. වැදගත්ම කාරණය මොවුන් ඇති කිරීමේ දී
ස්ථායී උෂ්ණත්වයක් පවත්වා ගැනීම නොව සෘතු අනුව උෂ්ණත්වය වෙනස් කළ යුතු වීම යි.
ස්වභාවික පරිසරයේ ආකාරයටම ශීත හා ග්‍රීෂ්ම සෘතු වලට ගැලපෙන උෂ්ණත්ව පවත්වා ගන්න
ඕනේ. ශීත කාලය තුල දී ඔවුන්ට අඩු ආහාර ප්‍රමාණයක් තමා ලබා දෙන්න ඕනේ.සෙල්සියස්
අංශක 10-28 වන ඉතා පුළුල් උෂ්ණත්ව පරාසයක මොවුන් ජීවත් වෙනවා. ph අගය 6.0-8.0 අතර පවත්වා ගැනීම සුදුසුයි.
ආහාර
ස්වභාවික පරිසරයේ දී කුඩා මසුන් කෘමීන් අල්ලාගෙන කන
විලෝපිකයින් වන මොවුන් ටැංකි තුල දී අජීවී මාංශ ආහාර වලට හුරු කරගන්න පුළුවන්.
පැටවුන් කාලයේ දී බ්ලඩ් වෝර්ම්ස්, කුඩා ගැඩවිලන් , කැපු
ඉස්සන් වැනි කෑම දෙන්න පුළුවන්. වැඩුණු මසුන්ට අමු මස්/ මාළු, ඉස්සෝ, බෙල්ලෝ,
ගැඩවිලා වැනි කෑම දෙන්න පුළුවන්.
විශේෂයෙන් මොවුන්ට හරක් පීකුදු, කුකුළු මස් වැනි ක්ෂීරපායි සහ කුරුළු මාංශ ලබා නොදිය යුතුයි.
ඒවායේ ඇති මේද ජීර්ණය මොවුන්ට අපහසු නිසා ඒවා තැන්පත් වීමෙන් මසුන් රෝගී වෙන්න
පුළුවන්.
ඒ වගේම තමා ආහාර වශයෙන් ගෝල්ඩ් ෆිෂ් පැටවුන් වැනි කුඩා
මාළු වර්ග දීම තුලින් ඔවුන්ට නිසි පෝෂණයක් නොලැබෙන අතර එමගින් එන රෝග කාරක මගින්
මත්ස්‍යා රෝගී වීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා ජීවී මසුන් ආහාර විදියට දෙනවා නම්
හොඳින් නිරෝධායනය කළ යුතුමයි.
වෙනත්
මෙයාල තනියම ඇති කිරීම තමා හොඳම දේ. ඕනෑම මොහොතක ප්‍රචණ්ඩකාරී
වෙන්න පුළුවන් මෙයාල තමාගේ සහකරුවා ට උනත් පහර දෙන්න පුළුවන්.
පිරිමි මත්ස්‍යයා අඟල් 5ක් පමණ වූ විට ඔවුන්ගේ පෘෂ්ටීය
වරල විස්තාරණය හා දීප්තිමත් වීම ක් වන අතර වැඩිහිටි මසුන් හඳුගා ගැනීමේ දී නම්
හිසේ හැඩය උපයෝගී කරගන්නවා. ගැහැණු මත්ස්‍යා ගේ හිස පිරිමි මත්ස්‍යා ගේ හිසට වඩා
පළලින් වැඩියි. මෞඛාබිජනකයින් වන මොවුන් කලාතුරකින් ඇතිකරන පරිසර වලදී ද අභිජනනය
සිදු වී ඇති බව වාර්තා වෙනවා.
Chordata වංශික මොවුන් ශ්වසනය
සඳහා යොදාගන්නේ suprabrachial ලෙස හඳුන්වන ප්‍රාථමික
පෙනහළුවක්. ඒ නිසා මෙයාල ඔක්සිජන් ලබාගන්නේ බාහිර වායු ගෝලයෙන්. මෙම අවයවය කරමලයට
වහා පිටුපසින් මඳක් ඉහලින් පිහිටා තියෙනව. මේ නිසා ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් මට්ටම
අඩු වීම මොවුන්ට බල නොපාන අතර මතුපිටට විත් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් ජලයේ
ගිලී මිය යන්න පුළුවන්. මේ නිසා කෝබ්‍රා මසෙකු ටැංකියෙන් පිටතට පැන්නොත් එකපාර
ටැංකියට දාන්න නම් එපා. අතේ තියාගෙන ටිකෙන් ටික ගෑවුන කුණු දුවිලි පිහදලා මාළුවා ම
වතුරට යනකල් තියාගන්න ඕනේ.
** ලිපිය සැකසීමේ දී සහය දුන්
භාසුරු ප්‍රභාශ්වර සහ අකිල ද සිල්වා
සොයුරන්ට විශේෂ ස්තුතිය **
( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
Comments
Post a Comment