අපුරු වර්ණ රටා මවන චෝරයි කන්නී ..

Karnataka Barb
( Sahyadria denisonii )



අසල්වැසි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් අපුරු Denison බාර්බ් විශේෂයක් තමා කර්ණාටක බාර්බ් කියල හඳුන්වන්නේ. වර්ෂ 1865 දී F.Day විසින් හඳුනාගන්නා ලද  Cyprinidae කුලයට අයත් මොවුන් මුලින්ම හමු වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ කේරලා ප්‍රදේශයේ මුණ්ඩක්කායම් වල මනිමාලා ගංගාවෙන්. ඉන්දියාවේ බටහිර තීරයේ පිහිටි කඳුවැටියක් වන Sahyadri කඳුවැටියේ නමින් Sahyadria කියන කොටසත් වර්ෂ 1861-1866 දක්වා ඉන්දියාවේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු කර ශ්‍රීමත් විලියම් තෝමස් ඩෙනිසන් ගේ නමෙන් denisonii කියන කොටසත් එකතු කරලා තමා මෙයාල Sahyadria denisonii කියල නම්කරලා තියෙන්නේ. කර්ණාටක බාර්බ් කියන නමට අමතරව Red Line Torpedo Barb, Denison Barb, Rose Line Shark, bleeding-eye barb සහ  දේශීයව Miss Kerala සහ Chorai Kanni කියන නම් වලින් හඳුන්වනවා. විසිතුරු මසුන් කර්මාන්තයේ දී ඇතැම්විට මොවුන්ට සමාන පෙනුමක් ඇති Sahyadria Chalakkudiensis මසුන් S. denisonii ලෙස ලබාදුන්නත් ඔවුන් ඩෙනිසෝනි මසුන්ට වඩා කලහකාරී මත්ස්‍ය විශේෂයක්.



කර්ණාටක බාර්බ් කියන්නේ දකුණු ඉන්දියාවේ කේරලා සහ කර්ණාටක ප්‍රාන්ත වලට ආවේනික මත්ස්‍යය වර්ගයක්. වර්තමානය වනවිට Valapatanam, Valapatanam, Chaliyar, Kallar, Karyangod, Kuttiyadi, Chandragiri, Sullya, Kuppam, Iritti, Anjarakandipuzha, Bhavani, සහ  Bharatapuzha ප්‍රදේශ ආශ්‍රිතව ගංගා වල කුඩා ගහනයන් ලෙස මොවුන් දකින්න පුළුවන්.

ඉතා හොඳ ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත නොඉඳුල් පිරිසිදු ජලය ප්‍රියකරන මොවුන් වාසස්ථාන කරගන්නේ ගංගා වල ඉහලම කෙළවර . ශාක ගහනයෙන් යුතු ගංගා ඉවුරු ආශ්‍රිතව ස්වභාවික ගල් පර නිසා  ජලය රැඳී නිර්මාණය වූ සැඬ ජල පහර සහිත ස්ථාන  වල වසන මොවුන් දිවා කාලයට වඩා ක්‍රියාකාරී වන්නේ මන්දාලෝකය ඇති උදෑසන සහ හැන්දෑ කාලයේ. වේගවත් පිහිනුම් කරුවන් වන මෙයාල රංචු වශයෙන් තමා ජීවත් වෙන්නේ. අනෙකුත් විලෝපික මසුන්ගෙන් බේරෙන්න මෙයාලගේ වේගය වගේම සමුහයක් ලෙස ඉන්න එක උදව් වෙනවා. ශරීර හැඩය මෙයාලගේ වේගය ට මනා පිටිවහලක් වෙලා තියෙනවා. ස්වභාවික පරිසරයේ දී මෙයාල නිතර ජලයෙන් උඩට පනිනවා දකින්න පුළුවන්.

කෘතීම පරිසරයේ අභිජනනය කළ මත්ස්‍යයෙක් 

ටෝපිඩෝ හැඩති සිරුරකින් යුතු මෙයාල සෙන්ටිමීටර 12-15 ක් පමණ උපරිම වර්ධනයකින් යුක්තයි. අනෙකුත් බාර්බ් වර්ග වලට සාපේක්ෂව මෙයාල දිගින් වැඩියි. රිදී පැහැය මුලික වර්ණය කරගත්ත මෙයාලගේ සිරුරේ අපුරු කොළ/කහ පැහැති දීප්තියක් (සබන් බෝලයක / ජලයට වැටුන තෙල් බිඳුවක දැකිය හැකි වර්ණ සංකලනය වගේ )දකින්න පුළුවන්. ශරීරයේ පාර්ශ්වීයව සම්පුර්ණ දිගට ම නාසයේ සිට ඇස හරහා වල්ගා වරලේ ආරම්භය තෙක් තද කළු පැහැති රේඛාවක් දිවෙනවා. එම රේඛාවට ඉහලින් නාස් කෙලවරේ සිට තවත් දීප්තිමත් රතු පැහැති වර්ණ රේඛාවක් ආරම්භ වන අතර සිරුරේ මැදක් දක්වා දිවෙන  එහි වර්ණය ක්‍රමයෙන් කහ පැහැයක් දක්වා වෙනස් වෙනවා. පෘෂ්ටීය වරලේ ඉහල කෙලවර දීප්තිමත් රතු පැහැයක් වෙන අතර බෙදුන වල්ගා වරල විනිවිද පෙනෙනසුලුයි. එහි දෙපස දාර දෙකේ කළු සහ කහ පැහැයෙන් හැඩ වූ වර්ණ රටාවකින් යුක්තයි. ළය වරල හා ගුද වරල විනිවිද පෙනෙනසුලු යි.මේ අපුරු වර්ණවත් බව නිසාම මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. මොවුන්ට අවුරුදු 5-8 පමණ ආයුකාලයක් හිමි යි.
 හොඳින් නඩත්තු කරන ටැංකියක මෙයාල ඇතිකිරීම අපහසු නෑ . තරමක සාමකාමී , ශාක වලට හානි නොකරන මත්ස්‍යයෙක් වන මෙයාට ගැලපෙන්නේ  හොඳින් සැකසුම් කල කමියුනිටි ටෑන්ක් එකක්. මෙයාල ට සමාන පරිසර තත්ත්ව ප්‍රිය කරන Danio වර්ග වැනි මසුන් සුදුසුයි. රංචුවක් ලෙස ඉන්න කැමති මෙයාල අඩුම තරමේ 6-10ක් අතර ප්‍රමාණයක් වත් එකට ඇතිකරන්න ඕනේ. තනිව සිටිනා විට තරමක කලහකාරී හැසිරීමක් දකින්න පුළුවන්.


මොවුන් සඳහා අවම ගැලුන් 55ක් (ලීටර 208 ) වත් වන ටැංකියක් තමා සුදුසු . සාමාන්‍ය ඝර්ම කලාපීය මසුන්ට වඩා ටිකක් සීතල ජලය තමා ප්‍රිය කරන්නේ. ස්වාභාවිකවත් ඉතා පිරිසිදු ජලයේ වසන මෙයාලට කාබනික අපද්‍රව්‍ය වලින් දුෂ්‍ය නොවූ ඉතා පිරිසිදු ජලය ලබා දෙන්න ඕනේ.ඒවගේම ඉතා හොඳ ඔක්සිජන් සැපයුමක් ලබාදෙන්න ඕනේ. ජලයේ තරමක ගලායාමක් /සෙලවීමක් ඇතිකරන්න ඕනේ.පතුල සඳහා වැලි හෝ කුඩා ග්‍රැවල් යොදාගැනීමට හැකි අතර ශාක වර්ග , ගල්, කොට ආශ්‍රයෙන් සැඟවිය හැකි ස්ථාන නිර්මාණය කරල දෙන්න ඕනේ. ඒවගේම ක්‍රියාකාරී මසුන් වන මොවුන්ට පිහිනා යාමේ අවකාශ ලැබෙන ආකාරයට ටැංකියේ අලංකරණ කටයුතු කිරීමට සැලකිලිමත් වෙන්න ඕනේ. කලබලකාරී මෙයාල නිතර ජලයෙන් උඩට පනිනවා. ඒ නිසා ටැංකිය ඉතා හොඳින් වහල තියන්න ඕනේ. පාවෙන ශාක වර්ග භාවිතයෙනුත් මේ ක්‍රියාව තරමක් පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා Water hyacinth වැනි ශාක සුදුසුයි.PH අගය 6.8-7.8 හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-25 ත් අතර තමා හිතකර තත්ත්ව විදියට සඳහන් වෙන්නේ. සතියකට වරක් 30%-50%ක පමණ වතුර ප්‍රමාණයක් මාරු කරන්න ඕනේ.



සර්වභාක්ෂක මොවුන් ස්වභාවික පරිසරයේ දී  ජීවී ආහාර වගේම ශාක කොටස්, කාබනික සුන්බුන් ආහාරයට ගන්නවා. ආහාර වලට කෑදර මාලුවෙක් නම් නෙමේ. ටැංකියක ඇති කරනවිට හොඳ පෝෂ්‍යදායි ආහාර ලබා දීමෙන් ඔවුන් සෞඛ්යසම්පන්නව වගේම අලංකාරව වැඩෙනවා. Bloodworms, Daphnia, artemia වැනි දේවල් සමඟ pallets, flakes වැනි කෑම වර්ග ත් ආහාරයට දෙන්න පුළුවන්. ආහාර ලබා දීමේදී පතුලට ගිලෙන ආහාර වර්ග තමා වඩාත්ම සුදුසු. කැරොටිනයිඩ් අඩංගු ආහාර ලබා දීම තුලින් මෙයාලගේ වර්ණවත් බව වැඩි වෙනවා. දිනකට දෙවරක් ආහාර ලබාදීම සුදුසුයි.
 
කෘතීම පරිසරයේ අභිජනනය කළ මත්ස්‍යය පැටවෙක් 

විසිතුරු මත්ස්‍යය කර්මාන්තයේ මොවුන්ට ඇති ඉල්ලුම නිසා දැන් මේ මසුන් විශේෂය තර්ජනයට ලක්වෙලා තියෙනව. පසුගිය වසර 15-20ක  පමණ කාලය තුල මොවුන්ගේ ගහනය 50%කින් පමණ අඩු වී ඇති අතර IUCN වර්ගීකරණයේ EN (තර්ජිත විශේෂයක් ) කාණ්ඩයට ගැනෙනවා. වර්තමානයේ දී මොවුන් ස්වභාවික පරිසරයෙන් අල්ලා ආනයනය කිරීම පිළිබඳ නීති රීති පනවා තිබෙනවා. ඔක්තෝබර් සිට මාර්තු දක්වා වන අභිජනන සමයේ මොවුන් ඇල්ලීම තහනම් කර ඇත්තේ ප්‍රමාණවත්ව බෝවීමේ අවකාශ ලබා දීම සඳහා.ස්වභාවික පරිසරයෙන් පිටත දී ත් සාර්ථකව බෝ වී ඇති මොවුන් වැඩි මුල්‍යමය ප්‍රතිලාභ හා පහසුව තකා ස්වභාවික පරිසරයෙන් අල්ලලා විකිණීම සිදුකරනවා. ඉන්දුනීසියා සහ සිංගප්පුරුව යන රටවල මොවුන් සාර්ථකව අභිජනනය කර ඇති බවට සඳහන් වෙනවා.


( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2