වෛවර්ණ රටා මවන පර්ල් ඩානියෝ




Celestichthys margaritatus 
( Celestial Pearl Danio )


 සිප්රිනිඩේ පවුලේ තවත් අලංකාර සාමාජිකයෙක් ගැන තමයි අද කතා කරන්නේ. ප්ලාන්ටඩ් ටෑන්ක් වලට කදිමට ගැලපෙන මෙයාල විසිතුරු මසුන් කර්මාන්තයට හඳුන්වා දී ලොකු කාලයක් ගත නොවුනත් ලෝකය පුරා මසුන් ඇතිකරන්නන් අතර ගොඩක් ජනප්‍රිය වෙන්න මෙයාලගේ අපුරු වර්ණ රටාවන් හේතු වෙලා තියෙනවා.වර්ෂ 2007 දී Roberts විසින් මොවුන් හඳුන්වා දෙනු ලැබූ බවයි සඳහන් වෙන්නේ. මෙයාලගේ නම හැදිලා තියෙන්නේ ලතින් වචන වල එකතුවකින්. දිව්‍යමය යන තේරුම ඇති caelestis යන වදන මත්ස්‍යයා යන තේරුම ඇති ichthys වදන හා එක් වීමෙන් Celestichthys යන කොටස ලැබී ඇති අතර margaritatus යන ලතින් වදනේ තේරුම මුතු වලින් අලංකාර වූ යන්නයි. Chili Rasbora, Fireworks Rasbora, Galaxy Rasbora, Microrasbora sp. ‘Galaxy’ කියන විවිධ වූ නම් වලින් හඳුන්වන්නේ ත් මෙයාලම තමයි.

මුලින්ම Microrasbora sp. , Galaxy , Galaxy Roasbora  ලෙසින් සිංගප්පුරුවේ දී වෙළඳ පොලට නිකුත් වූ මේ මසුන් සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල දී ජාත්‍යන්තර වෙළඳපොල තුල ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. මෙසේ ඇති වූ දැඩි ඉල්ලුම හේතුවෙන් ස්වභාවික පරිසරයේ හිටපු මසුන් අසීමාන්තිකව අල්ලා අපනයනය කිරීම වැලක්වීමට මියෙන්මාර රජය විසින් නීති පනවල තියෙනව. වර්ෂ 2007 ජුනි මාසේ වෙනකොට හොපොන්ග් ප්‍රදේශය ආශ්‍රිත තෙත්බිම් පරික්ෂා කර තවත් වාසස්ථාන 5ක් පමණ සොයාගැනීමෙන් පසුව මොවුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් නැති බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම මෙයාල ස්වභාවික පරිසරයෙන් පිටත දී ත් ඉතා පහසුවෙන් බෝ වන නිසා පසු කාලීනව වාණිජ වශයෙන් අභිජනනය කිරීම සිදු කරලා තියෙනව. ඒ හේතුවෙන් මුලදී ටිකක් වැඩි මිලකට අලෙවි උන මෙයාලගේ මිල ත් පාලනය වෙලා තියෙනවා. ඊට අමතරව පසු කාලීනව ස්වභාවික විශේෂයට වඩා වෙනස්කම් ඇති මසුන් ද හඳුන්වා  දී ඇති බව සඳහන්.


ව්‍යාප්තිය හා වාසස්ථාන

මියෙන්මාරයේ පර්ල් ඩානියෝ මසුන් මුලින්ම හමු වූ ප්‍රදේශය 

මෙයාලගේ නිජබිම වෙන්නේ මියන්මාරය. නැගෙනහිර මියෙන්මාරයේ හොපොන්ග් නගරාසන්නයේ කඳු පාමුල මොවුන්ගේ වාස භුමි වෙලා තියෙනවා. ඒ වගේම උතුරු තායිලත්න සීමාවේ සලවීන් ගංගාව ආශ්‍රිතවත් මොවුන් හමු වී ඇති බව වාර්තා වෙනවා.

වේල්ලක් මගින් ජලය රඳවා කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කල ස්ථිරවම ජල ගැල්මට ලක් වූ තෘණ භුමි ප්‍රදේශයක තමා මොවුන් මුලින්ම හමු වෙලා තියෙන්නේ. විනිවිද පෙනෙන ජලයෙන් යුතු වූ එහි ගැඹුර වෙලා තියෙන්නේ සෙන්ටි මීටර 30ක් ඒ කියන්නේ අඩියක විතර ප්‍රමාණයක් . ඒ වගේම ජලජ පැලෑටි වලින් ගහන පරිසරයක් . Elodea, Egeria සහ Blyxa ගණ අයත් වන hydrocharitaceae කුලයේ ජලජ ශාක වර්ග  බහුලව තිබු බව සඳහන්.

මේ පරිසර පද්ධතියේ පර්ල් ඩානියෝ මසුන් ට අමතරව devario sondhii , channa harcourtbutleri වැනි විශේෂ ත් හමු වී තිබෙනවා.

මෙතෙක් වාර්තා වූ විශාලම පර්ල් ඩානියෝ මත්ස්‍යා ලෙස සැලකෙන්නේ මිලි මීටර 21ක් දිගැති මත්ස්‍යයෙක්.


ගෘහස්ථව ඇති කිරීම හා නඩත්තුව.


පර්ල් ඩානියෝ පිරිමි මසුන් එකක් හා ගැහැණු මසුන් 3 ක් ඇති කරන්නේ නම්  අවම වශයෙන් ගැලුන් 10ක (ලීටර් 38) ප්‍රමාණයේ වත් ටැංකියක් ලබා දෙන්න ඕනේ. රංචුවක් ඇති කිරීම තමා වඩා සුදුසු. කුඩා මසුන් උනත්  පිරිමි සතා ටිකක් කලහකාරී ගතියකින් යුතු නිසා ඉඩකඩ තිබීම අවශ්‍යයි. ටැංකිය හොඳින් ශාක වලින් ගහන විය යුතු අතර ටැංකි පතුල අඳුරු පැහැති වීම සුදුසුයි. කඩින් කඩ පිහිනීමට හැකි ලෙස බාධක සහිතව අලංකාර කරන ලද ටැංකියක නම් මෙයාලගේ ස්වභාවික හැසිරීම් හොඳින් බලන්න පුළුවන් ලු. ඒ වගේම කලබලකාරී ගතියත් ටිකක් අඩු වෙනවා ලු. ටැංකිය සඳහා ෆිල්ටර පද්ධතියක් භාවිත කල යුතුයි. කාබනික ද්‍රව්‍ය හා නයිට්රේට අවම ව පිරිසිදු ජලය පවත්වා ගන්න ඕනේ. ඒ සඳහා ජලය මාරු කිරීම් සිදු කරන්න ත් ඕනේ.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-26 අතර සහ ph අගය 6.5-7.5 පවතවා ගැනීම තමා හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙන්නේ. ස්වභාවික පරිසරයේ ph අගය 7.3 ක් ලෙස වාර්තා වෙලා තියෙනවා.

ආහාර


ස්වභාවික පරිසරෙයේ දී ඇල්ගී, කුඩා සතුන් ආහාරයට ගන්නා මොවුන් සර්ව භක්ෂකයන්. ඇතිකරනවා නම් වියලි ආහාර වර්ග වලට හුරු කරන්න පුළුවන්. හැබැයි එකම වර්ගය නැතුව වෙනස් කෑම වර්ග ලබා දීම සුදුසුයි. හොඳ වර්ණ පවත්වා ගැනීමට වගේම අභිජනනය සඳහා මසුන් තෝරා ගන්නවා නම් ජීවී හෝ ශීතකළ daphnia, artemia වැනි පෝෂ්‍යදායි ආහාර දිනපතා ආහාර වේලට එකතු කරන්න ඕනේ.  ඒ වගේම තමා ආනයනය කල අලුත මොවුන් තරමක දුර්වල බවක් පෙන්වන අතර මසුන් ගේ තත්වය  සතුටුදායක  වන තුරු ශීත කල හා වියලි ආහාර සමඟ ජීවී ආහාර ද එකතු කල යුතු බවයි නිර්දේශය.


හැසිරීම් හා ගැලපෙන මත්ස්‍යය වර්ග

මෙයාලට යාළුවො තෝරද්දී සමාන ප්‍රමාණයේ අය වීම සුදුසුයි. ඒ වගේම මෙයාලව ගොදුරු කරගන්නේ නැති වගේම කෑම වලට තරඟයක් ඇති නොවන වර්ග වීම ත් වැදගත්. මෙයාල ගොඩක් වෙලාවට පතුලේ ගත කරන නිසා මතුපිට පීනා යන විශේෂ වඩා ත් සුදුසුයි.

මියෙන්මාරයෙන් ම එන Celestichthys choprae, microdevario ගණයේ සාමාජිකයින් වැනි කුඩා මත්ස්‍යය වර්ග සුදුසු වර්ග ලෙස සඳහන් වෙනවා. කොහොම උනත් celestichthys erythromicron විශේෂය මොවුන් හා ඇති කිරීමට නිර්දේශ නොකරන්නේ එම වර්ග දෙක අතර මුහුම් වීමේ හැකියාවක් ඇති බවට සැලකෙන නිසයි.
ස්වභාවයෙන්ම රංචු විදියට ඉන්න මත්ස්‍යය විශේෂයක් වන මොවුන් රංචුව තුල දී නිතර කළහ කරගන්නවා දකින්න පුළුවන්. දවල් කාලයේ දී මේ විදියට හැසිරෙන්නේ පිරිමි මසුන් . ඒ නිසා ටැංකිය තුල වරල් එහෙම තුවාල කරගත්ත මසුන් කියන්නේ සුලභ දර්ශනයක්. තම වර්ගයේ මසුන් අතර මිස වෙනත් මසුන්ට පහර දෙන්නේ නැති බවයි සඳහන් වෙන්නේ.

අවම මසුන් 20ක වත් රෑනක් ඇති කිර්මටයි නිර්දේශ කරන්නේ. ඒ තුලින් ටැංකියට අපුරු අලංකාරයක් වගේම කලහකාරී බවේ අඩුවක් දකින්නත් පුළුවන්.


ගැහැණු සහ පිරිමි මසුන් හඳුනා ගැනීම


පිරිමි මසුන් වර්ණයෙන් වානේ පැහැයේ සිට තද නිල පැහැයට හුරු වර්ණයක් ගන්නා අතර ලය වරල හැර අනෙකුත් වරල් කළු ඉරි වලින් යුතු රතු පැහැයක් ගන්නවා.
සිරුරේ ඇති ලප මුතු වන් සුදු පැහැයේ සිට ක්‍රීම් පැහැය ක් ගන්නා අතර අභිජනනයට සහභාගී වූ වැඩුණු මසුන්ගේ බඳ පෙදෙස රත් පැහැයක් ගන්නවා. ඒ වගේම සමස්තයක් විදියට ගත්තම සිරුර ඉතා තීව්‍ර වර්ණයන්ගෙන් යුතු වනවා.
පිරිමි මසුන් 

ගැහැණු මසුන් නිල්-කොළ මුලික වූ වර්ණයකින් යුතු අතර දීප්තිමත් බැවින් අඩුයි. යටි පැත්තේ හැර අනෙකුත් වරල් වල මඳ රතු හෝ තැඹිලි වර්ණ දකින්න පුළුවන්.
සිරුරේ ලප ක්‍රීම් පැහැයේ සිට රන්වන් පැහැයක් ගන්නා අතර ඒවා බඳේ ඉදිරිපසට විහිදෙන්නේ නෑ . ශරීර ප්‍රමාණයෙන් පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් මදක් විශාල වන අතර සිරුරේ හැඩය ද සාපේක්ෂව රවුම් ස්වභාවයක් ගනී. ගර්භනී සමයේ දී මෙය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්.

ගැහැණු මත්ස්‍යයෙක් 




අභිජනනය



අනෙක් කුඩා සිප්‍රිනිඩ් වර්ග වගේම මෙයාලත් බිත්තර විසුරුවන්නන්. ඒ වගේම හොඳ දෙමාපිය ආරක්ෂාවක් සලසන්නේ නැති අය.
ස්වභාවික පරිසරයෙන් පිටතදී මෙයාල මුලින්ම අභිජනනය වූ බවට වාර්තා වෙන්නේ එක්සත් රාජධානියේ Bolkon Museum Aquarium එකේ දී යි. ඒ වර්ෂ 2006  Pete Liptrot සහ Paul Dixon විසින් . ඒ වගේම මේ අභිජනනය සිදුකරලා තියෙන්නේ මසුන් රටට ගෙනවිත් සතියකට දෙකකට පසු වීමත් විශේෂයි.
මසුන් හොඳ තත්වයේ සිටී නම් මෙයාල නිතර බෝ වෙනවා. හොඳින් ශාක ගහනයකින් යුතු පදම් වූ ටැංකියක නම් කිසිදු මැදිහත්වීමකින් තොරව කුඩා පැටවුන් දකින්න ලැබෙන්න පුළුවන්.
කොහොම උනත් ඔබට ගුණාත්මක මසුන් අස්වැන්නක් අවශ්‍ය වෙනවා නම් පාලනයකින් යුතුව අභිජනනය සිදු කිරීමයි සුදුසු.
අභිජනනය සඳහා ලීටර 10-15 පමණ ටැංකි සකස් කරගැනීම සුදුසයි. ඒ සඳහා පරණ වූ වතුර තමා භාවිතා කරන්න ඕනේ. ඒ වගේම හොඳින් පත්‍ර සහිත Taxiphyllum වැනි ශාක වර්ග වලින් ටැංකිය සකසා ගන්න ඕනේ.


ආලෝකය සැපයීම හෝ ෆිල්ටර සැපයීම අත්‍යවශ්‍ය කරුණක් නොවුනත් ඔබේ කැමැත්ත පරිදි කුඩා ස්පොන්ජ් ෆිල්ටර් එකක් භාවිතා කරන්න පුළුවන්.
අභිජනනය සඳහා හොඳින් සුදානම් කළ මසුන් ජෝඩුවක් හෝ කාණ්ඩයක් වශයෙන් අභිජනන ටැංකියට එකතු කරන්න පුළුවන්. කාණ්ඩයක් විදියට එකතු කරනවා නම් පිරිමි මසුන් 1-2 ක් සමඟ ගැහැණු මසුන් කිහිප දෙනෙක්වම එකතු කිරීම යි සුදුසු . ඒ මගින් බිත්තර කා දැමීමේ අවධානම අඩු කරගන්න වගේම පිරිමි මසුන් අතර ඇතිවන කලහය අඩු කරගන්නත් පුළුවන්.
ගැහැණු මසෙකු වරකට මෘදු ඇලෙනසුලු බිත්තර 30ක් පමණ දමනවා. බිත්තර දැමු පසු වැඩිහිටි මසුන් ඉවත් කිරීම කරන්න ඕනේ . නැතිනම් ඔවුන් බිත්තර කා දමනවා. ඒ වගේම තමා ගැහැණු සතුන් සඳහා නැවත බිත්තර දැමීමට පෙර විවේකයක් ලබා දිය යුතුමයි.
ස්වභාවික පරිසරයේ දී අවුරුද්ද පුරාම බෝවෙන මොවුන් වානිජමය වශයෙන් බෝ කරගන්න අවශ්‍ය නම් එකම මවු සතුන් නැතිව මාරු කරමින් වසර පුරාම බෝ කරගන්න පුළුවන් නිසා  නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්.
බිත්තර දමා පැය 72ක් පමණ ගත වනවිට කුඩා පැටවුන් පිහිනන්නට පටන් ගන්නා අතර ඔවුන්ට paramecium, artemia, microworm වැනි ආහාර ලබා දෙන්න පුළුවන්. වර්ධනයත් සමඟ ක්‍රමයෙන් වෙනත් ආහාර වලට හුරුකරගන්න පුළුවන්.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )


©janakiecjoseph2018

Comments

Popular posts from this blog

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)