දඟකාර රෝසි බාර්බ් මසුන් ගැන දැනගනිමු.



Rosy Barb  ( Pethia conchonius)



කලින් Barbus conchonius කියන නමින් හැඳින්වුන රෝසි බාබ් කියන්නේ මිරිදිය මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය සිප්රිනිඩේ පවුලේ තවත් අලංකාර මත්ස්‍යයෙක්. ශ්‍රී ලංකාවේ සිප්‍රිනිඩ් පවුලේ මාලුන්ව හඳුන්වන පෙතියා කියන වචනේ එක්ක තමා මෙයාට නම ලැබිලා තියෙන්නේ. වර්ෂ 1822 දී Hamilton විසින් මොවුන් හඳුනා ගත් බවයි සඳහන් වෙන්නේ. රිදීමය හෝ තඹමය රෝස පැහැයකින් යුතු සිරුරේ ඉහල  කොළ පැහැයට හුරු වෙනවා . පිරිමි මත්ස්‍යයා ගේ බඳ පෙදෙස වඩා රෝස පැහැයක් ගන්නවා. අපේ භාසාවෙන් කිව්වොත් පණ හයිය හොඳ ක්‍රියාශීලී මසුන් වර්ගයක් වන මොවුන් ටැංකියට එකතු කරන අලංකාරය නිසාම බොහෝ දෙනෙක් මෙයාල ඇති කරන්න කැමතියි.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයෙන් හමු බු රෝසි බාබ් මසුන් 


අභිජනන සමයේ දී මෙයාලගේ වර්ණ වැඩි වෙනවා. විශේෂයෙන් පිරිමි මත්ස්‍යයා. ඔවුන්ගේ රිදී පැහැය තද රෝස හෝ දම් පැහැයක් දක්වා තීව්‍ර වන අතර වරල් රතු හා කළු පැහැයක් ගන්නවා. මේ වනවිට විසිතුරැ මසුන් ක්ෂේත්‍රය උදෙසා ම වැඩි දියුණු කල විශේෂ කිහිපයක් ම දකින්න පුළුවන්. මොවුන් ගෝල්ඩ් , රතු රෝස සහ නියෝන් වර්ණ අනුව වර්ග කරන අතර  Neon Rosy Barb, Long Fin Rosy Barb, Red Glass Rosy Barb, Gold Neon Rosy Barb ඉන් වර්ග කිහිපයක්. රෙඩ් බාබ් කියල හඳුන්වන්නේත් රෝසි බාබ්වම තමා.

Long fin rosy barb

Neon rosy barb
Red glass rosy barb
Gold rosy barb


ව්‍යාප්තිය හා වාසස්ථාන

ස්වභාවික පරිසරයේ වෙසෙන්නවුන් -කර්ණාටක ප්‍රදේශය 
මුලින්ම මෙයාල හමුවෙලා තියෙන්නේ බෙන්ගාලයෙන්. ඒ Kosi සහ Ami ගංගාවන් ආශ්‍රිතව. ඇෆ්ගනිස්තානය හා පකිස්තානයේ Indus ගංගාව ආශ්‍රිතව, ඉන්දියාවේ ගංගා, බ්‍රහ්මපුත්‍ර, මහානදී, ගෝදාවරී, ක්‍රිෂ්ණා සහ කාවේරි ගංගා ආශ්‍රිතව වගේම නේපාලය හා බංග්ලාදේශයේ තල්වාර් සහ jhingran ගංගා ආශ්‍රිතව මෙයාල ජීවත් වෙනවා. ඊට අමතරව පසුව බෝ වුන ගහනයන් සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, මෙක්සිකෝව, Puerto Rico සහ කොලොම්බියාව යන රටවල් වල  දකින්න පුළුවන්.

මෙයාල ජිවත් වන ප්‍රදේශයන් අනුව වර්ණ සහ ශරීර ප්‍රමාන වල වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට බටහිර බෙංගාලයේ සිවලික් කඳු ආශ්‍රිත Darjjeeling ප්‍රදේශයේ වෙසෙන මසුන් ගේ දීප්තිමත් කොරපොතු සහ තීව්‍ර වර්ණ දකින්න පුළුවන්.

මෙයාලගේ වාසස්ථාන ත් විවිධත්වයක් ගන්නවා. කඳු ආශ්‍රිතව ගලා යන අතු ගංගා , දිය පහර වල වගේම නිශ්චල ජලය ඇති ජලාස, පොකුණු , ගොහොරු වලත් මෙයාල ජිවත් වෙනවා.

ශරීර ලක්ෂණ


ටෝපිඩෝ හැඩති සිරුරකින් යුතු මොවුන්ට ඇත්තේ බෙදුන වල්ගා වරලකි. පෘෂ්ටීය වරල් එකක් පිහිටලා තියෙනවා. ස්වභාවික පරිසරයේ දී අඟල් හයක් පමණ දක්වා වර්ධනය වන මොවුන් මින් මැදුරක නම් අඟල් හතරක් පමණ දක්වා වර්ධනය වනවා. අඟල් 2.5ක් පමණ වන විට මොවුන් පරිනත වූ මසුන් බවට පත් වන අතර උපරිම ආයු කාලය අවුරුදු 05ක් පමණ.

සාමාන්‍යයෙන් රිදී හෝ තඹ පැහැය මුසු රෝස පැහැති සිරුරේ ඉහල කොටස කොළ පැහැයට හුරු වර්ණයක් ගන්නවා. පිරිමි මසුන්ගේ බඳ පෙදෙස වඩාත්ම රතට හුරු වර්ණයක් ගන්නවා. වල්ගාවරලට මඳක් ඉදිරියෙන් කළු ලපයක් දකින්න පුළුවන්.  ඒ වගේම ගුද සහ පෘෂ්ටීය වරල් වල කළු වර්ණ දාරයක් දකින්න පුළුවන්.

ගෘහස්ථව ඇතිකිරීම
රෝසි බාබ් කියන්නේ ආධුනිකයන්ට උනත් නිර්දේශ කරන නඩත්තුව පහසු මාළු වර්ගයක්. හොඳින් කෑම ගන්නවා වගේම වතුරේ ඇති වෙනස්කම් වලට ඔරොත්තු දීමේ හැකියාවත් ඉහලයි. ඒ වගේම තමා මෙයාල අනිත් අයගේ වරල් කනවා. ඒ නිසා මෙයාලට යාළුවො එකතු කරද්දී ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. හෙමින් පිහිනනන් වරල් දිග මත්ස්‍යය විශේෂ නැතුව හොඳ ක්‍රියාකාරී මසුන් තමා මෙයාලගේ යාළුවො විදියට තෝරන්න ඕනේ.



ආහාර
මෙයාල සර්ව භක්ෂකයින් . ජීවී, අමු හෝ වියලි ආහාර වර්ග කන්න දෙන්න පුළුවන්. හොඳ ගුණාත්මක flake වර්ගයක් දිනපතා ලබා දෙන්න පුළුවන්. ඒ අතර තුර විශේෂ දෙයක් විදියට Daphnia , බ්‍රයින් ශ්‍රිම්ප්ස්, blood worms වගේ දේවල් දෙන එක හොඳයි. වර්ණ වැඩිවෙන්න විශේෂයෙන් සැකසු කෑම වර්ග ලබා දීමෙන පෙනුම වැඩි කරගන්න පුළුවන්.

දිනකට වරක් විනාඩි පහක් තුල ඉවරකරන්න පුළුවන් ප්‍රමාණයක් කෑම ලබා දෙන්න ඕනේ. දිනකට වාර කිහිපයක් ලබා දෙන්නේ නම් එම කාලය විනාඩි 3ක් හෝ ඊට අඩු විය යුතුයි.

ටැංකි නඩත්තුව
පිරිසිදු වතුර සහ නියමිත උෂ්ණත්වය පවත්වා ගන්නේ නම් මෙයාලගේ නඩත්තුව අපහසු නෑ. කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම හා වාෂ්පීකරණය නිසා ටැංකියේ ෆොස්ෆේට, නයිට්රේට සාන්ද්‍රණය ඉහල යන්න පුළුවන්. ඒ නිසා මසකට වරක් 25%-50%ක පමණ වතුර මාරු කරන්න ඕනේ. ටැංකියේ ඉන්න මසුන් ප්‍රමාණය වැඩි නම් සතියකට හෝ දෙකකට වරක් 20%-25%ක පමණ වතුර මාරුවක් කරන්න ඕනේ.

ටැංකි සැකසීම
රෝසි බාබ් කියන්නේ ටැංකිය පුරාම පිහිනන හොඳ ක්‍රියාකාරී මාලුවෙක්. අඟල් හතරක් විතර ලොකු වෙනවා. අවම වශයෙන් ගැලුන් 20ක වත් ටැංකියක් සුදුසු උනත් රංචුවක් සඳහා ගැලුන් 30ක වත් ටැංකියක් ලබාදෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මෙයාල සීතල වතුර තමා ප්‍රිය කරන්නේ . ඒ වගේම මෙයාල පනින්න හරි හපන්නු , ටැංකිය හොඳින් වහන්න පුළුවන් වෙන්න ඕනේ.

බොහොමයක් බාබ් විශේෂ වලට වගේම මෙයාලටත් හොඳට පිහිනන්න අවකාශ තියෙන්න ඕනේ. ඒ වගේම තමා මෘදු අඳුරු පැහැති  පතුලක් . පතුල සඳහා වැලි භාවිතය සුදුසුයි. කොට කැබලි , ශාක වර්ග සහිතව ස්වභාවික පරිසරයට සමාන පරිසරයක් හදල දෙන්න පුළුවන්. මෙයාල එක්ක ශාක වර්ග බේරගන්න එකත් නම් ලේසි නෑ .  සාමාන්‍ය ආලෝක තත්වයක් ලබා දෙන්න ඕනේ උනත් දිනකට පැයක් දෙකක් විතර ඉර එලිය වැටෙනවා නම් හොඳයි.  ඉර එලිය  එයාලගේ වර්ණ වල දීප්තිය වැඩි වෙන්න උදව්වක් වෙනවා. ඒ වගේම තමා හොඳ ෆිල්ටර් එකක් සහ ජලයේ චලන පවත්වා ගැනීමත් මෙයාලගේ හොඳ වර්ණ පවත්වාගැනීමට වැදගත්.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.00 -24.00  සහ ph අගය 6.0 -8 .0 අතර තමා හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙන්නේ. සීතල වතුරේ ඉන්න කැමති උනත් අභිජනන කාලයේ දී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22-25 අතර පවත්වා ගැනීමයි සුදුසු.

ගති ලක්ෂණ
රෝසි බාබ් කියන්නේ ටැංකිය පුරාම පිහිනන බලා ඉන්න ආස හිතෙන මාළු වර්ගයක්. සාමකාමීව අනිත් මසුන් එක්ක හිටියා උනත් සමහරවිට එයාලගේ වරල් වලට හානි කරන්න පුළුවන්. රංචු විදියට ඉන්න මෙයාල අඩුම තරමේ 8-10 ක් වත් එකට හදන්න ඕනේ. වැදගත්ම දේ මෙයාලට යාළුවො තෝරනකොට මෙයාල වගේම සීතල ජලයට කැමති අය තෝරාගන්න ඕනේ.

ගැහැණු සහ පිරිමි මසුන් හඳුනා ගැනීම හා අභිජනනය
බටහිර බෙංගාලයෙන් හමු වූ යුවලක් , පිරිමි මත්ස්‍යයා ඉදිරියෙන් 
කුඩා කාලයේ දී නම් මෙයාල වෙන් කරලා අඳුරගන්න අපහසු උනත් වැඩිහිටි මසුන් ව වෙන්කරලා අඳුනගන්න පුළුවන්. පිරිමි මසුන් ප්‍රමාණයෙන් කුඩා යි, සිහින් වගේම ගැහැණු මසුන්ට වඩා දීප්තිමත් වර්ණයෙන් යුක්තයි. විශේෂයෙන්ම අභිජනන සමයේ දී වර්ණය වැඩි වෙනවා.

ගොඩක් බාබ් වර්ග වගේම මෙයාලත් බිත්තර විසුරුවන දෙමාපිය රැකවරණ නැති විශේෂයක් . ඒ වගේම බෝ කරගන්න අමාරු වර්ගයක් නෙමේ. හොඳ තත්වයේ ඉන්නා මසුන් නම් නිතර අභිජනනය සිදු වෙන්න පුළුවන්. පරණ ටැංකියක නම් කිසිම මැදිහත්වීමකින් තොරව රෝසි බාබ් පැටවුන් කිහිපයක්  ඉන්නවා දකින්න ලැබේවි. කොහොම උනත් හොඳ තත්වයේ මසුන් බිහි කරගන්න නම් පාලනයකින් යුතුව අභිජනනය සිදු කල යුතුයි.

අභිජනනය සඳහා ගැලුන් 5-10 පමණ ටැංකියක් සුදානම් කරගන්න .අභිජනන ටැංකිය මඳ ආලෝකයකින් යුතු වෙන්න ඕනේ. ඒ වගේම බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා මවු මසුන්ට රිංගා යා නොහැකි බිත්තර පමණක් බේරී වැටෙන ප්‍රමාණයේ සිදුරු සහිත දැලක් භාවිතා කිරීම වඩා සාර්ථකයි. එහෙම නැත්නම් ප්ලාස්ටික් තණකොළ බිසි හෝ විදුරු මාබල් යොදාගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ටැංකියට හොඳින් කොළ සහිත Taxiphyllum spp වැනි ශාක යොදාගන්න පුළුවන්. මේ දේවල් අවශ්‍ය වෙන්නේ මවු සතුන් විසින් බිත්තර කන එක වලක්වා ගන්න.

ජලය මඳක් ආම්ලික වීම වගේම ඉහත සඳහන් කර ආකාරයට උෂ්ණත්වය ත් මඳක් වැඩි වීම (සෙල්සියස් අංශක 22-25) අවශ්‍යයි. ඒ වගේම ස්පොන්ජ් ෆිල්ටරයක් භාවිතයෙන් ජලයේ ඔක්සිජන් තත්වය වැඩි කරලීම වගේම චලනයන් වැඩි කිරීමත් කරන්න ඕනේ.

අඟල් 2.5ක් පමණ වන විට මේ මසුන් පරිණත තත්වයට පත් වෙනවා.මෙහෙම හදාගත්ත ටැංකියට හොඳ තත්වයේ  බිත්තර දාන්න ඉන්නා ගැහැණු මසුන් දෙදෙනෙක් හා පිරිමි මත්ස්‍යයෙක් එකතු කරන්න. පසු දා වන විට බිත්තර දැමීම සිදු කර ඇති. ඇලෙනසුලු මෙම බිත්තර ටැංකිය පතුලේ හෝ බිත්තර රඳවා ගන්න යොදා ගන්නා මාධ්‍යයේ රැඳෙනු ඇති.බිත්තර දැමු පසු මවු මසුන් වෙන් කිරීම සිදු කරන්න ඕනේ.
 බිත්තර දමා පැය 24-48 අතර පැටවුන් එලියට එන අතර පැය 24 ක් වන විට පැටවුන් පිහිනනු දකින්න ලැබේවි. අලුත උපන් පැටවුන්ට මුල් දින කිහිපයේ ඉන්ෆසූරියා වැනි ආහාර දිය හැකි අතර ඉන්පසු microworm, ආටිමියා වැනි දේවල් කෑමට දෙන්න පුළුවන්. පැටවුන් සඳහා දිනකට තුන්වරක් කෑම ලබා දෙන්න ඕනේ. ඉතිරි වූ කෑම නිසා වතුර අපිරිසිදු නොවෙන්න වගබලාගන්න ඕනේ. පැටවුන්ට හොඳ පිරිසිදු වතුර අවශ්‍ය යි.

ලෙඩ රෝග.
හොඳින් ඔරොත්තු දෙන මාළු වර්ගයක් වන මොවුන්ට ලෙඩ රෝග වැළඳීම අඩුයි. ටැංකියේ ජලය ගුණාත්මක තත්වයක නැති නම් Ich හැදෙන්න පුළුවන්. හොඳින් ටැංකිය නඩත්තු කරනවා නම් සෞඛ්‍ය සම්පන්න බාර්බ් රංචුවක ගේ සාඩම්බර හිමිකාරයෙක් වෙන්න පුළුවන්. ටැංකියට පිටතින් එකතු කරන දේවල් හොඳින් නිරෝධායනය කිරීම ත් ලෙඩ රෝග වලක්වා ගැනීමට උපකාරී වෙනවා.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )
©janakiecjoseph2018

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2