මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම


මත්ස්‍ය වගා කර්මාන්තයේදී වැදගත් අංගයක් ලෙස මවු මසුන් අභිජනනය කරවා පැටවුන් ලබා ගැනීමත් එම පැටවුන් වඩා වර්ධනය කරවා වගාවට යෙදවීමත් පැටවුන් ලෙසින්ම දේශීය හෝ විදේශීය වෙළඳපොළට නිකුත් කිරීමත් සිදු කරනු ලබයි. ගුණාත්මක බැවින් පරිපුර්ණ මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීම හා වෙළඳපොළට යැවීම ඉතා ලාභ ගෙනදෙන ව්‍යාපාරයක් වී ඇත. මත්ස්‍ය අභිජනනය සහ කීටයන් රැකබලා ගැනීම විසිතුරු මත්ස්‍ය වගා කර්මාන්තයේදී මෙන්ම ආහාරය පිණිස මසුන් වගා කිරීමේ දී ද එක සේ වැදගත් වේ. බොහෝ විට ආහාරය පිණිසම වගාකරන මසුන් ශ්‍රී ලංකාවට ආදේශිත මසුන් වන අතර එයින් සමහරක් මසුන් අපගේ දේශගුණික තත්ත්ව වල ස්වභාවිකව අභිජනනය නොවන බැවින් ප්‍රේරිත අභිජනනය වැනි විශේෂිත ක්‍රියාවලින් මගින් පැටවුන් නිපදවයි. මෙම ලිපිය මගින් අපගේ දේශගුණික තත්ත්ව වල පහසුවෙන් පැටවුන් නිපදවිය හැකි මසුන් කෘතීම තත්ත්ව යටතේ අභිජනනය කරවා ඉන් ලැබෙන ඉන් ලැබෙන පැටවුන් රැකබලා ගැනීම ට අවශ්‍ය වැදගත් පොදු කරුණු කිහිපයක් සාකච්චා කෙරේ.

අභිජනනය සඳහා උසස් තත්වයේ මවු මසුන් තෝරා ගැනීම 
ඉතා හොඳ තත්වයේ මවු මසුන් තෝරා ගැනීමට සුදුසුම ක්‍රමය නම් කුඩා මසුන් ගෙන ඔවුන්ට හොඳින් පෝෂණය ලබා දීමයි. ඉන්පසු ඒ අතරින් ඉක්මනින් වැඩෙන මසුන් වෙන් කොට නැවතත් හොඳින් පෝෂණය කල යුතුය. පසුව වරල් සහ කරමල් පිධානය ආදී කරුණු සැලකිල්ලට ගෙන මවු මත්සයන් වෙන් කරගත යුතුය.

 ඉන් පසු මවු මසුන් කොන්ක්‍රීට්, විදුරු හෝ ෆයිබර් වලින් සාදන ලද ටැංකි තුල හැකි තරම් පෝෂ්‍යදායි ආහාර දෙමින් රැකබලා ගත යුතුය. මෙසේ රැකබලා ගන්නා මසුන්ගේ සුදුසු කාලය තුල දී ලිංගික පරිනතිය සිදු වී බිත්තර දැමීමට සුදුසු වේ. 

එලෙස තෝරා ගත මසුන්,

i. නිරෝගී මසුන් වීම
ii. දේහයේ භාහිර තුවාල වලින් තොර වීම
iii. හොඳින් ආහාර ගන්න මසුන් වීම
iv. දේහයේ කිසිදු අංග විකලතාවයක් හෝ වර්ධනය ඇනහිටීමක් නොපෙන්වන මසුන් වීම
v. ජලක්ලෝම වටා ඇති ආවරණය (පිධානය/Operculum) හොඳින් පිහිටා තිබීම
vi. දේහයේ කරමල් හෝ කොරපොතු හොඳින් දේහයට ඇලී දීප්තිමත් බැවින් යුක්ත සතුන් වීම
අනිවාර්ය වේ.

හොඳ පැටවුන් ලබා ගැනීම සඳහා හොඳ ගුණාත්මක තත්වයේ මසුන් අභිජනනය කරවිය යුතුය.

මත්ස්‍යයෙකු අභිජනනය කරවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
  • මවු සතුන් ඉතා නිරෝගී වීම, හොඳ පෝෂණයක් ඔවුන්ට ලබා දී තිබීම
  • අභිජනනයට සුදුසු මසුන් යුගලක් වීම. ඔවුන් පරිණත තත්වයට පත්ව සිටිය යුතුය .
  • එකිනෙකා ප්‍රතික්ෂේප නොකරන යුගලක් වීම .
  • අභිජනනයට අවශ්‍ය තරම් ඉඩකඩ ලබාදිය හැකි විය යුතුය.
  • අවශ්‍ය පරිසර තත්වයන් සහ උෂ්ණත්වය තිබිය යුතුය.
  • ජලයේ ගතිගුණ යෝග්‍ය පරාසයේ තිබිය යුතුය.
  • ආලෝකය හා අඳුර ප්‍රමාණවත් තරම සකසා දිය යුතුය.
  • සුදුසු හා ප්‍රමාණවත් ස්වභාවික පරිසර තත්වයන් ලබාදිය යුතුය.
  • ලැබෙන බිත්තර රැකබලා ගැනීමේ පහසුකම් තිබිය යුතුය
  • පුර්ව කීට අවධි, පසු කීට අවධි සහ වැඩෙන පැටවුන්ට මනා රැකවරණයක් හා පෝෂණයක් ලබාදිය යුතුය. ඒ සඳහා පහසුකම් තිබිය යුතුය.


අභිජනන ටැංකිය සහ අභිජනන මාධ්‍ය.
අභිජනන ටැංකිය ලෙස කොන්ක්‍රීට් , විදුරු හෝ වෙනත් ඕනෑම ආකාරයක ටැංකි තෝරා ගත හැකිය. ඉන් පසුව මෙම ටැංකිය ඉතා හොඳින් පිරිසිදු කල යුතුය. පිරිසිදු කර ගත ටැංකිය ක්ලෝරීන් නොමැති ජලය 2/3 ප්‍රමාණයක් පුරවා එහි මැද පෙදෙසට වන්නට අභිජනන මාධ්‍ය දැමිය හැකිය. අභිජනන මාධ්‍ය ලෙස කොහු කෙඳි වැනි කෘතීම මාධ්‍යන් ද යොදා ගත හැකිය . එදේම ශාකමය කොටස් තෝරා ගන්නේ නම් එම ශාක මෙම ටැංකියට ගැනීමට දින කිහිපයකට පෙර වෙනත් ටැංකියකට දමා ගොළු බෙල්ලන් සහ අනෙකුත් ජීවින් නැති බවට සැකහැර දැනගත යුතුය. හැකි නම් 2 ppt සාන්ද්‍රණයකින් යුතු කොන්ඩිස් වතුර ටිකකින් ශාක සෝදා ගත හැකි නම් එම ශාකවල විෂ බිජ නැති වී යයි. කෘතීම මාධ්‍යයන් යොදා  ගන්නේ නම් මෙම ද්‍රව්‍ය උණු වතුරේ තැම්බිමෙන් ද ජීවානුහරණය කල හැකිය.

මසුන් අභිජනනය සඳහා අවශ්‍ය පරිසර තත්ව අභිජනන ටැංකිය තුල තිබිය යුතුය.
PH – 6.5 -7.5
උෂ්ණත්වය - 25 – 29 සෙල්සියස් අංශක
කටිනත්වය - විශේෂය අනුව වඩාත් සුදුසු අගය
ද්‍රාව්‍ය ඔක්සියන් > 5 mg/ l


අභිජනනය කරන මසුන් ටැංකියට හඳුන්වා දිම හා අභිජනනය
මෙහි දී සැලකිය යුතු වැදගත් ම කරුණා වන්නේ මසුන් බිත්තර දමන අවස්ථාවේ සිටම එම ටැංකිය අසල රැඳී සිටිමින් කරන බාධක හැකිතාක් දුරට අඩු කිරීමයි. මසුන් කලබල උවහොත් ඔවුන් බිත්තර කෑමට පටන් ගනී. තවත් කරුණක් වන්නේ සංසේචනය සිදු කල පසු ද සමහර මසුන් බිත්තර සහ පැටවුන් ද කෑමට පටන් ගනී. එවිට හැකිනම් බිත්තර හා මසුන් එකිනෙකාගෙන් ඉවත් කිරීම කල යුතුය.

මවු මසුන් විසින් බිත්තර අවශ්‍ය ලෙස රක බලා ගන්නවා නම් හැකිතාක් දුරට බාහිර පරිසරයෙන් ඔවුනට එල්ල විය හැකි බාධා අවම කල යුතුය. එවිට මවු සතුන් විසින් පැටවුන් බිහි නොවන (Unfertilized) බිත්තර ඉවත් කරන අතර බිත්තර වලට අවශ්‍ය O2 ප්‍රමාණය ඔවුන්ගේ වරල් ගසමින් ලබා දෙයි. නමුත් සිහින් O2 ධාරාවක් ටැංකියට ලබාදීම කල යුතුය. ඉන්පසු පටවා පැය 24-48 ත් අතර කාලයකදී බිත්තරයෙන් පිට වීමට පටන් ගනී.

  • මත්ස්‍යය කීටයන් රැකබලා ගැනීම.
  • දුර්වල හෝ රෝගී පැටවුන් වගාවට ගැනීමෙන්,
  • පොකුනේ රෝග  හටගැනීම
  • ඔවුන්ගේ වර්ධන වේගය ඇනහිටීම.
  • වගා කාලය දිගුවුම නිසා නිෂ්පාදන වියදම වැඩිවීම
  • අස්වැන්න අඩු වීම නිසා අදායම අඩු වීම
  • ශ්‍රමිකයන්ට සහ බෙහෙත් වලට වැඩි වියදමක් දැරීමට සිදුවීම



කීටයන් රැකබලා ගැනීම (fry rearing) යනු බිත්තරයෙන් බිහි වූ පැටවුන් වර්ධක අවස්ථාවට පත්වනතුරු පෝෂණය කිරීමයි.

බිත්තරයෙන් බිහිවන පැටවා තවත් දින 1ක් හෝ 2ක් යනතුරු තම බිජාන්න මඩිය තුලින්ම පෝෂණය වේ. මේ නිසා මේ අවස්ථාවේ පිටතින් ආහාර ලබාදීම අවශ්‍ය නොවේ.

බිජාන්න මඩිය ශරීරයට අවශෝෂණය වී පැටවා නිසහසේ පිහිනන අවස්ථාවට පැමිණි පසුව පිටතින් ආහාර ලබාදීම සිදු කල යුතුය.


බිහි වූ විගස පැටවා ,
  • උපස්තරයකට සවි වී එක තැන චලනය වෙමින් සිටි
  • පැය කිහිපයකට හෝ දින 1-2 කට පසුව සුළු පිහිනීමක් අරඹයි.
  • ඇස පෙනීම දුර්වල ය . ඇස හොඳින් වර්ධනය වී නැත.
  • ආහාර මාර්ග පද්ධතිය දුර්වලය.
  • ආන්ත්‍රික යුෂ ශ්‍රාවය වීම දුර්වලය.
  • බිහි වූ පැටවා මාංශ භක්ෂකයි. සත්ත්ව ප්ලවාංග මත යැපේ

මේ නිසා පැටවාට චලනය වන ජීවී මත්ස්‍යය ආහාර දිය යුතු අතර ආහාර පසුපස හඹා යාම අපහසු නිසා තමා වටේ සැරිසරන ජීවී ආහාර ශරීරයේ ගැටුණු විට ආහාර පිණිස ලබාගනී.

නිදහස්ව පිහිනනන් ඉතාම කුඩා කිටයන්ට තම්බන ලද බිත්තර කහ මදය  සහ ඉතාමත් කුඩා අවධියේ පසුවන මොයිනා, ආටිමියා වැනි ජීවී මත්ස්‍යා ආහාර දවසකට පස්වතාවක් බැගින්ද මත්ස්‍යය කිටයනට (දින 10 සිට මාසය දක්වා ) දිනකට තුන් වතාවක් ද මසකට වැඩි පැටවුන්ට කයිරොනොමිඩ් පනුවන්, ටියුබිෆ්ලෙක්ස් පනුවන් කෘතීම ආහාර ආදිය දිනකට දෙවතාවක් බැගින් ද ලබාදෙන්න.

ජීවී ආහාර වලට උදාහරණ

Artemia (Brine Shrimps)
Moina
Daphnia
Cyclops etc..

කීට පොකුණු කළමනාකරණය
ක්‍රමයෙන් පැටවුන් වැඩෙන විට ඔවුන්ගේ ගහන ඝනන්ත්වය සුදුසු ප්‍රමාණයට සැකසිය යුතුය. මුඛයේ ප්‍රමාණයට සරිලන සේ ආහාර අංශු වල ප්‍රමාණය වෙනස් කල හැකිය.

  • මෙම ටැංකි හොඳින් වාතනය කිරීම අවශ්‍ය වන අතර ජල තත්වය හොඳින් පවත්වා ගැනීම, ජලය අපිරිසිදු නම් අඩක් හුවමාරු කිරීම හෝ 2/3ක් ඉවත් කර නැවත පිරවීම කළ යුතුය.
  • තවද අවශ්‍ය ප්‍රමාණයට පමණක් කෑම දැමීම මෙන්ම හොඳින් ඇල්ගී ඝනත්වයක් පොකුණු වල ඇත්නම් පිටතින් දමන කෑම ප්‍රමාණය අඩු කල යුතුය.
  • වරින් වර ජලයේ පරිමිතීන් මැන බැලීම සහ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම මගින් රෝග තත්වයන් හටගැනීමේ හැකියාව අවම කිරීම.
  • වඩා වැදගත් වන්නේ රෝග වලට යොමුවිය හැකි මංපෙත් හැකි තරම් අවම කිරීමයි.
  • සති 2-3 ක් වන විට මසුන්ට දිනකට 3 වරක් පමණ ආහාර දිය යුතු අතර කෘතීම ආහාර වලට පුරුදු කල හැකිය.
  • ටැංකියේ එක ස්ථානයකට නියමිත වෙලාවට කෑම දැමීමත් මසුන්ට විනාඩි 5-10ක් ඇතුලත ආහාර නිම කල හැකි ප්‍රමාණයට පමණක් ආහාර දැමීම ත් කල යුතුය.
  • අනවශ්‍ය ලෙස ආහාර දැමීමෙන් වලකින්න.


අනවශ්‍ය ලෙස ආහාර දැමීම නිසා,
  • ආහාර ටැංකියේ පතුලේ එක්රැස් වීම සහ ආහාර කුණුවීම
  • බැක්ටීරියා ක්‍රියාකාරිත්වය මගින් වියෝජනය වූ ආහාර මතින් විෂ වායු නිකුත් කිරීම.
  • ජලය විෂවීම හා මසුන් ක්ෂණිකවම මිය යාම
  • පොකුණේ/ ටැංකියේ ඔක්සිජන් ඌන වීම
  • රාත්‍රී කාලයේ ටැංකියේ ඔක්සිජන් ඌන වීම
  • මසුන් විඩාපත් වීම/ ආතතියට ලක් වීම/ දුර්වල වීම
  • රෝග තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවීම
  • මසුන් රෝගී වීම/ මිය යාම (බැක්ටීරියා,වයිරස් ,දිලිර, පරපෝෂී රෝග)
  • ඖශධ වලට ඉහල වියදමක් දැරීම, නිෂ්පාදන වියදම වැඩි වීම, අස්වැන්න අඩු වීම හා ආදායම අඩුවීම සිදු වේ.


(දිවයින පුවත් පතේ පලවූ ආචාර්ය  එම් . ජී . අයි. එස්. පරාක්‍රම මහතාගේ සටහනකි.)


Comments

Popular posts from this blog

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2