සුන්දර සර්පි ටෙට්‍රා මසුන් ගැන දැනගනිමු.



Serpae Tetra (Hyphessobrycon eques)

හැඳින්වීම

වර්ෂ 1882 දී Steindachner විසින් හඳුන්වා දුන් Characidae පවුලට අයත් තවත් අලංකාර මත්ස්‍යය වර්ගයක් තමා සර්පි ටෙට්‍රා කියන්නේ. ඔවුන් රංචු විදියට ඉන්න වර්ණවත් මසුන් වර්ගයක්. Red Minor Tetra, Jewel Tetra , Red Serpa, Blood Characin, Blood Tetra , Red Phantom Tetra සහ Callistus Tetra කියන නම් වලින් හඳුන්වන්නේ ත් මෙයාලම තමයි. වර්තමානය වෙනකොට විසිතුරු මසුන් කර්මාන්තය සඳහා ම හඳුන්වා දුන් අලංකාර වරල් සහිත  සර්පි ටෙට්‍රා වර්ග කිහිපයක්ම දකින්න පුළුවන්.  මෙටලික්, ලෝන්ග් ෆින්ඩ්, බැලුන් සහ ෆෙයරි ටේල් කියන්නේ ඒ අතරින් වර්ග කිහිපයක්.ඒ වගේම සර්පි ටෙට්‍රා කියන්නේ අපනයන වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙන මත්ස්‍යය විශේෂයක් .

උසින් අඩු/ කෙටි කියන අරුත ඇති පුරාන ග්‍රීක වචනයක් වන Hyphesson කියන වචනෙට Brycon කියන ගණ නාමය එකතු වෙලා හදුන Hyphessobrycon කොටසට  අශ්වාරෝහකයා යන අරුත ඇති ලතින් වචනයක් වන eques කියන වචනය එකතු වෙලා තමා මෙයාගේ නම හැදිලා තියෙන්නේ.



ව්‍යාප්තිය හා වාසස්ථාන

සර්පි ටෙට්‍රා කියන්නෙත් දකුණු ඇමෙරිකාව නිජබිම කරගත්ත මසුන් වර්ගයක්. මොවුන් ඇමසෝන් ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව බ්‍රසීලය, පේරු සහ බොලිවියාව යන රටවලත් Paraguay සහ Guapore ගංගාවන් ආශ්‍රිතව පැරගුවේ, ආර්ජන්ටිනාව යන රටවලත් වඩා පුළුල් වූ ව්‍යාප්තියක් පෙන්වනවා. මොවුන් ජීවත් වන ප්‍රදේශ අනුව වරල්, ශරීර ප්‍රමාණය සහ වර්ණ වල යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්.

නිශ්චල හෝ ඉතා සෙමින් ගලායන අතු ගංගා, පොකුණු , ජලාස වල ශාක වලින් ගහන ඉවුරු හෝ වතුරේ ගිලුණු මුල් වලින් යුතු පරිසර වල තමා මොවුන් ජිවත් වෙන්නේ. ජල මතුපිට ආසන්නයේ වසන මොවුන් රංචු වශයෙන් ජිවත් වන අතර පනුවන්, කුඩා කෘමින් , ක්‍රස්ටේසියාවන් සහ ශාක කොටස් ආහාරයට ගන්නවා. ආහාර ගන්න වෙලාවට එකිනෙකාගේ වරල් තුඩු කන එකත් මෙයාල අතර නිතරම දකින්න පුළුවන්.

ශරීර ලක්ෂණ

පැත්තෙන් බැලු විට ඕවලාකාර හැඩයකින් යුතු සර්පි ටෙට්‍රා අනෙක් ටෙට්‍රා වර්ග මෙන්ම පැතලි සිරුරකින් යුක්තයි. සෙන්ටි මීටර 4ක පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන්ගේ ආයු කාලය වසර 3-7ක් පමණ වෙනවා. වසර 10ක් දිවි ගෙවූ අවස්ථා කිහිපයකුත් වාර්තා වී තිබෙනවා. ඉතා අලංකාර රක්ත වර්ණයකින් යුතු මොවුන්ගේ සිරුරේ මැණික් වලින් වගේ අපුරු දීප්තියකින් යුතුයි. මේ නිසාමයි මෙයාලට Jewel ටෙට්‍රා කියන නම ත් ලැබිලා තියෙන්නේ. ඒ වගේම කරමල් වලට පසුපසින් ඇති ඩයමන්ඩ් හැඩයෙන් යුතු කළු ලපය මෙයාලට අපුරු අලංකාරයක් එකතු කරනවා. වරල් බොහොමයක් කළු පැහැති වන අතර වරල් අග සුදු පැහැතියි. පසුව හඳුන්වා දුන් දිගු වරල් සහිත විශේෂ වල වර්ණ වෙනස් වීම දකින්න පුළුවන්.



ගති ලක්ෂණ හා හැසිරීම් රටා

සර්පි ටෙට්‍රා කියන්නේ අපේ බාසාවෙන් කිව්වොත් පණ හයිය මාළුවෙක්. අලුතෙන් ම මසුන් ඇතිකරන්න යොමුවෙන ආධුනිකයෙකුට උනත් නිර්දේශ කරන්න ඉතා සුදුසු  මසුන් වර්ගයක්. නඩත්තුව ඉතා පහසු උනත් මෙයාල ගේ සමහර ගති ලක්ෂණ ටැංකියේ සිටින අනිත් මසුන්ට කරදරයක් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙයාල එක්ක හදන්න මාළු තෝරා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ ක්‍රියාකාරී මත්ස්‍ය වර්ගයක් වෙන මෙයාල අනෙක් මසුන්ට කරදර හිරිහැර කරන චණ්ඩියෝ. විශේෂයෙන් වරල් කන්න රුසියෝ. ඒ නිසා මෙයාලගේ හැසිරීමෙන් අනෙක් මසුන් ආතතියට පත් වෙන්න පුළුවන්.

කමියුනිටි ටෑන්ක් එකකට ගැලපෙනවා උනත් මෙයාලගේ සයිස් එකට සමාන හෝ ඊට ප්‍රමාණයෙන් වැඩි මසුන් සමඟ තමා ඇතිකරන්න ඕනේ. රංචු විදියට ඉන්න කොට තමා මෙයාලගේ කලහකාරී හැසිරීම් හොඳින් දකින්න පුළුවන්. රංචුවක අඩුම තරමේ මසුන් 5-6 දෙනෙක් වත් ඉන්න ඕනේ. පිරිමි මසුන් දෙන්නෙක් එකට ඉන්නවා නම් දෙන්න රණ්ඩු වෙනවා වගේ පෙනුනත් කාටත් හානියක් කරගන්නේ නෑ . එහෙම රණ්ඩු කරන්නේ ගැහැණු මසුන්ගේ ආකර්ෂණය ගන්න ලු. වරල් දිගු මසුන් වර්ග , සෙමින් පිහිනන මසුන් වර්ග මෙයාලට ගැලපෙන් ටෑන්ක් මේට් ල නෙමෙයි.

සම ප්‍රමාණයේ ම වෙනත් ටෙට්‍රා වර්ග, රේන්බෝ මසුන්, ලොකු රාස්බොරා , බාර්බ් වර්ග සහ ඩානියෝ වර්ග එක්ක එකට ඇති කරන්න පුලුවන්.



ආහාර

සර්ව භක්ෂකයින් වන මොවුන්ට  ජීවී , අජීවී හෝ අලුත් කෑම වර්ග වගේම flakes ආහාර විදියට දෙන්න පුළුවන්. හොඳ තුලිත ආහාර වේල් ලබා දීමෙන් මාළුවා සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වෙනවා. සාමාන්‍ය ආහාර වලට අමතරව බ්‍රයින් ශ්‍රිම්ප්ස්, බ්ලඩ් වෝර්ම්ස් වගේ කෑම ත් ලබා දෙන්න පොඩි සංග්‍රහයක් විදියට. මෙයාල දවසට කිහිප වරක් ම කෑම කන්න යි කැමති. ඒ ලබා දෙන හැම විටම විනාඩි තුනක් හෝ ඊට අඩු කාලයක දී කාල ඉවර වෙන ප්‍රමාණය තමා ලබා දෙන්න ඕනේ.

ගෘහස්තව ඇතිකිරීම සහ ටැංකි සැකසීම

සර්පි ටෙට්‍රා ට පිරිසිදු වතුර ලබා දෙන්න ඕනේ. වාෂ්පීකරණය නිසා ජලයේ ගුනාත්මකබාවය වෙනස් වෙන්න පුළුවන්. සති දෙකකකට වතාවක් ජලය 25%-50%ක් පමණ ප්‍රමාණයක් මාරු කිරීම සුදුසුයි. ටැංකියේ ඉන්න මසුන් ප්‍රමාණය වැඩි නම් මේ කාලය අඩු වෙන්න ඕනේ.

ගැලුන් 20ක ටැංකියක් සඳහා මසුන් 6 දෙනෙකුගෙන් යුතු රංචුවක් ප්‍රමාණවත්. මෙයාල රංචු විදියට ඉන්න නිසා ඇතිකරනවා නම් 6ක් හෝ ඊට වැඩි යෙන් ඇති කිරීම සුදුසුයි. ටැංකියට මින් මැදුරු සඳහා භාවිතා කරන peat යෙදීමෙන් ස්වභාවික පරිසරයට සමාන අඳුරු පැහැති ජලය ලබා දෙන්න පුළුවන්. ටැංකිය සඳහා හොඳ ෆිල්ටර් එකක් ඕනේ උනත් ඒ මගින් ජලයේ ලොකු කැළඹීමක් ඇති නොවෙන්න වග බලාගන්න ඕනේ. මෙයාල ප්‍රිය කරන්නේ නිශ්චල ජලය. ඒ වගේම තමා අඩු ආලෝකයක් තමයි ප්‍රිය කරන්නේ.

ඉදිරිපස පිහිනුම් අවකාශ සහිත හොඳින් ශාක වැඩුනු ටැංකියක් වෙන්න ඕනේ. ලී, පාවෙන ශාක වර්ග වගේ දේවල් යොදාගන්නවා නම් තවත් හොඳයි. මෙයාලට බයෝ ටොප් ටැංකියක් (ස්වභාවිකව වෙසෙන පරිසර තත්ත්ව වලට සමාන පරිසර තත්ත්ව සහිත ) හදල දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. පතුලට ගංගා වැලි වගේම විසිරී ගිය මුල්, වියලි කොළ, ඇඹරුණු මුල පද්ධති වගේ දේවල් ඒ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම පතුල අඳුරු පැහැති වෙනවා නම් වඩා හොඳයි.වියලි කොළ භාවිතා කරනවා නම් සති කිහිපයකට වරක් ඒවා මාරු කරන්න ත් ඕනේ.

ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.2-27.8 සහ ph අගය 5.5-7.5 අතර පවත්වා ගැනීම තමා හිතකර තත්ත්ව විදියට සැලකෙන්නේ.



අභිජනනය

පිරිමි මසුන් ගැහැණු මසුන්ට වඩා වර්ණයෙන් දීප්තිමත් වන අතර ඔවුන්ගේ පෘෂ්ටීය වරල් තද කළු වර්ණයක් ගන්නවා. ගැහැණු මසුන් වර්ණයෙන් අඩු වන අතර පිරිමි මසුන්ට සාපේක්ෂව  පිරිපුන් සිරුරකින් යුක්තයි.

සර්පි ටෙට්‍රා කියන්නේ මින් මැදුරු වල අභිජනනය සිදු උන වගේම වැඩි දියුණු කර වෙනත් විශේෂ ඇති කර ඇති මසුන් වර්ගයක්. බිත්තර දමන මොවුන් බෝ කිරීම අපහසු නෑ . බිත්තර විසුරුවන මොවුන් පැටවුන් ගැන බලන්නේ නම් නෑ . බිත්තර දැමු විගස බිත්තර කා දැමීම ට පෙර මවු සතුන් ඉවත් කරන්න ඕනේ.

අභිජනනය සඳහා ගැලුන් 3-5 ක් පමණ වන ටැංකියක් සුදානම් කරගන්න. මේ ටැංකිය ට යොදාගන්නේ අලුත්ම වතුර නම්  නෙමේ. ටික දවසක් ටැංකියක තියෙන වතුර තමා ගන්නෝනේ. පතුලට තද වර්ණ මාධ්‍යයක් යොදන්න. ටැංකිය අඩු ආලෝක තත්වයක් ලබා දෙන්න ඕනේ. සිහින් පත්‍ර සහිත ශාක හෝ අභිජනනය සඳහා භාවිතා කරන කෘතීම ව සකසන ලද තණකොළ ටැංකියට යොදන්න ඕනේ. ගැහැණු සත්වයා විසින් ඒවාගේ බිත්තර විසුරුවනු ඇති. පාවෙන ශාක ත් මේ සඳහා යොදාගන්න පුළුවන් ඒ මගින් ආලෝකය අඩු කරන්න අතිරේක වාසියකුත් සැලසෙනවා.

මීට අමතරව දැල් ක්‍රමය ත් භාවිතා කරන්න පුළුවන්. දැල් අතරින් බිත්තර පමණක් වෙන් වන ආකාරයේ දැලක් යොදා ගැනීමෙන් මවු සතුන් විසින් බිත්තර ආහාරයට ගැනීම වලක්වා ගන්න පුළුවන්.
අභිජනනය සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-27 ත් අතර සහ ph අගය 5.5-6.8 අතර  පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ යාන්තමට ආම්ලික ගතියකින් යුතු වතුර. ජලයේ මෘදු චලන ඇති වන ස්පොන්ජ් ෆිල්ටරයක් භාවිත කිරීම සුදුසුයි.

යුගලක් හෝ රංචුවක් ලෙස අභිජනනය සඳහා යොදාගන්න පුළුවන්. රංචුවක් ලෙස ගන්නේ නම් පිරිමි මසුන් 1-2ක් සඳහා ගැහැණු මසුන් කිහිප දෙනෙක්  තෝරාගන්න. ඔවුන්ට හොඳ ජීවී ආහාර ලබා දීල අභිජනනය සඳහා සුදානම් කරන්න. මෙසේ සුදානම් කල යුගල හෝ කුඩා රංචුව සවස් කාලයේ දී අභිජනනය සඳහා සුදානම් කල ටැංකියට මාරු කරන්න ඕනේ. මේ වෙනකොට ගැහැණු මසුන්ගේ  බිත්තර පිරිම නිසා උදරය රවුම් ස්වභාවයක් ගනු ඇති. පිරිමි මසුන් තෝරා ගැනීමේ දී හොඳ වර්ණවත් මසුන් තෝරා ගන්න සැලකිලිමත් වෙන්න.

ඔවුන් සාමාන්යෙන් උදය කාලයේ දී බිත්තර දැමීම සිදු කරන අතර ගැහැණු මත්ස්‍යයෙක් වරකට බිත්තර 200-300ක් පමණ දමනවා. බිත්තර දැමු පසු මවු මසුන් ඉවත් කල යුතුයි. සාමානයෙන් පැය 24-28 ක් අතර කාලයක දී බිත්තර පුපුරා පැටවුන් එලියට එන අතර දින කිහිපයකින් ඔවුන් නිදහසේ පිහිනා යනු ඇති. මුල් දින කිහිපයේ දී ආහාර සඳහා ඉන්ෆසුරියා වැනි දේ කෑමට දිය හැකි අතර වර්ධනයත් සමග මයික්‍රෝ වොර්ම්ස්, බ්‍රයින් ශ්‍රිම්ප්ස් වැනි දේ ආහාර විදියට දෙන්න පුළුවන්.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)
©janakiecjoseph2018

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2