පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

Electric Eel (Electrophorus electricus)

ව්‍යාප්තිය සහ වාසස්ථාන හා හැසිරීම



වර්ෂ 1766 දී Linnaeus විසින් හඳුනාගන්නා ලද විදුලි ආඳා දකුණු අමාරිකාවේ ඇමසෝන් සහ ඔරිනොකෝ ද්‍රෝණි වලින් සුලභව හමු වෙන මත්ස්‍යයෙක්. IUCN වර්ගීකරණය අනුව අඩු අවධානමක් සහිත (LC) කාණ්ඩයට යි මෙයාල අයත් වෙන්නේ. පුළුල් ව්‍යාප්තිය, බොහෝ වාසස්ථාන සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව වගේම විශේෂිතව හඳුනාගත් තර්ජනයක් නොවීම මිට හේතු වෙලා තියෙන්නේ.

අඩු ඔක්සිජන් මට්ටමකින් යුතු නිසල ජලයා ඇති මඩ සහිත ජලාශ, වගුරු, දිය පහරවල් තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ. ඔක්සිජන් මට්ටම කොච්චර අඩු උනත් මෙයාලට ගැටළුවක් නොවෙන්නේ වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමට තියෙන හැකියාව නිසයි. විනාඩි 10 කට පමණ වරක් ජාල මතුපිටට ඇවිත් මෙයාලගේ ඔක්සිජන් අවස්යතාවය සපුරාගන්නවා. ඒ වගේම තමා මේගොල්ල අඳුරු තැන් වලට බොහොම ප්‍රියයි. නිශාචර සත්වයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.අනිත් කාරණේ තමා මෙයාලගේ ඇස් පෙනීම හරිම දුර්වලයි.ඒත් මඩ වතුරේ , අන්ධකාරේ උනත් ඉතා නිවැරදිව මාර්ගය හොයාගෙන සැරිසරන්න මෙයාලට පුළුවන්.වෝල්ට් 10ක පමණ විදුලි ධාරාවක් තමා ඒ සඳහා උදව් වෙන්නේ. කෑම හොයාගන්නත් මේ ක්‍රමයම භාවිතා කෙරෙනවා.
කුඩාම අවදියේදී අපෘෂ්ඨවංශීන් ආහාරයට ගත්තත් වැඩුනු  මසුන්ගේ ආහාර වෙන්නේ මාළු වර්ග, උභය ජීවින්, ජලයට වැටෙන කුරුල්ලන්, කුඩා ක්ෂීරපායි සතුන් වැනි දේ. විදුලි ආඳා සැලකෙන්නේ ඉහල මට්ටමේ විලෝපිකයෙක් විදියට . ඒ කියන්නේ මෙයාල අනෙක් සත්තු ගොදුරු කරගත්තත් වෙනස් සතුන්ට මෙයාල ගොදුරු කරගන්න අමාරුයි.විදුලි ධාරා මගින් සතුන් අඩපණ කර හෝ මරා ගොදුරු කරගන්නා මොවුන් අවශ්‍ය වූ විටෙක තම සතුරන් මෙල්ල කරගන්නත් මෙම විදුලි ධාරාව යොදා ගන්නවා. වෝල්ට් 600ක් පමණ දක්වා විදුලියක් නිපදවන හැකියාව මොවුන් සතුයි. හොඳින් වැඩුණු අශ්වයෙක් බිම වට්ටන්න උනත් ඒ විදුලිය ප්‍රමාණවත්.

විදුලි ආඳා ගේ අභිජනන ක්‍රියාවලියත් විශේෂිතයි. වියලි කාලයේදී පිරිමි සතා විසින් කෙල වලින් හදන කුඩුවේ ගැහැණු සතා බිත්තර දමනවා. ඒ බිත්තර වලින් මුලින් පිටතට එන සතුන් පුපුරා නැති අනෙකුත් බිත්තර කෑමට ගන්නවා.


ශරීර ස්වභාවය



විදුලි ආඳා හැඩයෙන් දිගටි සිලින්ඩරාකාර ස්වරුපයක් ගන්නවා.

ටිකක් විශාවලව වැඩෙන මත්ස්‍යය  විශේෂයක්. ස්වභාවික පරිසරයේ දී දිහින් අඩි 8 ක්  (250 cm) හා බර රාත්තල් 45 ක්  (20 kg) පමණ උපරිම වර්ධනයක් පෙන්වන නමුත් ගෘහස්තව හෝ මින් මැදුරු තුල නම් දිගින් අඩි 4-5 ක්  (125-152 cm ) පමණ උපරිම වර්ධනයක් තමා පෙන්වන්නේ. ආයු කාලය වසර 15ක් පමණ වෙනවා.

මෙයාලට පෘෂ්ඨීය වරලක් නැති උනත් ළය වරල ආසන්නයෙන් ඇරඹෙන
 ඉතා දිගු ගුද වරලක් පිහිටා තිබෙනවා.මෙම වරල තරංගාකාර ව ඉදිරියට මෙන්ම පසුපසටත් චලනය කරන්න පුළුවන්. කුඩා වල්ගා වරල ගුද වරල හා එක්වී නොබෙදුණු එක් රේකාවක ආකාරයට පිහිටා තියෙනවා. පැතලි හිසක් හා හොම්බ තෙක් විහිදුනු විශාල මුඛයක් පිහිටා තියෙනව. මෙයාලගේ කොරපොතුත් විශේෂයි. ඒ ඉතා කුඩා Ctenoid කොරපොතු. ඒ කියන්නේ කොරපොතු කෙලවර දත් වගේ.



ශරීර වර්ණය තද අළු පැහැය මිශ්‍රිත කොළ පාටක් ගන්නා අතර ගෙල පෙදෙස තැඹිලි පාටයි. ඇස් කොළ (Emarald Green ) පැහැතියි. පැටවුන්ගේ ශරීර වර්ණය ඔලිව් දුඹුරු පැහැයක් ගන්නා අතර කහ පැහැති ලප දකින්න පුළුවන්.

කුඩා පැටවෙක් 

ශ්වසනයේ දී අවශ්‍ය ඔක්සිජන් වලින් 80% ක් ම වායු ගෝලීය ඔක්සිජන් ලබා ගැනීම විදුලි ආඳා ගේ සුවිශේෂ ලක්ෂණයක් . ඒ සඳහා විශේෂිත නාල සහිත ශ්වසන අවයවයක් මුඛ කුහරය තුල පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් පතුලේ වසන මොවුන් විනාඩි 10 කට පමණ වරක් ජල මතුපිටට පැමිණ මෙම අවශ්‍යතාවය සපුරා ගන්නවා.

විදුලි ආඳා ගේ ආකර්ෂණිය ම ලක්ෂණය ලෙස විදුලිය නිපදවීමට ඇති හැකියාව හඳුන්වන්න පුළුවන්. විදුලිය නිපදවීමට ම විශේෂිත වූ කුඩා කොටස් රාශියක් එක් වී සෑදුන විශාල අවයවයක් මොවුන්ට පිහිටලා තියෙනවා.එය සිරුරේ 80%ක පමණ පෙදෙසක් පුරා විහිදී තියෙනවා.මෙසේ නිපදවෙන විදුලි ධාරාව ගොදුරු දුර්වල කිරීම හෝ මරා ගැනීම ට, සතුරන් මෙල්ල කිරීම ට වගේම එකිනෙකා අතර සන්නිවේදනය සඳහා ද උපකාරී කරගන්නවා. මීට අමතරව පරිණත මසුන් තම සහකරු/ සහකාරිය හොයාගන්නත් මෙම විදුලියම උපකාර කරගන්නා බව ට විශ්වාස කෙරෙනවා.



නඩත්තුව / ටැංකි සැකසීම හා ආහාර



විදුලි ආඳා කියන්නේ අවශ්‍ය පමණ ඉඩ පහසුවත් කන්න දෙන්න සල්ලිත් තියෙනවා නම්  ඇතිකරන්න අමාරු මාලුවෙක් නෙමේ. අපේ භාසාවෙන් කියනවා නම් මෙයා හොඳ පණ හයිය මාලුවෙක්. කෑම දෙන්නත් කරදරයක් නෑ . මාංශමය ආහාර තමා දෙන්න ඕනේ. දවසකට එකපාරක් දුන්නම ප්‍රමාණවත්. මෙයාලගේ තියෙන එකම භයානක කාරණේ තමයි වෝල්ට් 600 ක පමණ විදුලියක් නිපදවීමට තියෙන හැකියාව.  ඒ නිසාම අත්දැකීම් සහිත මාළු ඇතිකරන්නන් මොවුන් ඇති කරනවා නම් වඩාත්ම හොඳයි. මේ හේතුව නිසාමයි විදුලි ආඳා ප්‍රදර්ශන මින් මැදුරු , සත්වෝද්‍යාන සඳහා සුදුසු මත්ස්යෙකු ලෙස නිර්දේශ කරන්නේ.



විලෝපික මත්ස්‍යයෙකු වන විදුලි ආඳා කටට දාගන්න පුළුවන් තරමේ ඕනෑම සතෙක් ගොදුරු කරගන්නවා. ස්වභාවික පරිසරයේ දී නම් මාළු වර්ග, මොලුස්කාවන්, කුරුල්ලන්, කුඩා ක්ෂීරපායි සතුන් ආහාරයට ගන්නවා. කුඩා පැටවුන්ට නම් ආහාර විදියට පනුවන්, කෘමි කීටයන් වැනි දේ දෙන්න පුළුවන්. වැඩුණු මසුන් නම් ජීවි ආහාර වලට තමා ප්‍රිය කරන්නේ. ඒත් ඔවුන්ව ශිත කල (Frozen) හෝ අළුත් මාංශමය ආහාර වලට හුරු කරන්න පුළුවන්. මාළු වර්ග, මස්, පීකුදු  වැනි දේවල් දිනකට එක් වරක් ආහාරයට දෙන්න පුළුවන්.


මේගොල්ලෝ හාම්පුතා ට හොඳින් හිලෑ වෙනවා. මතුපිටට ඇවිත් කෑම කන්න පුරුදු වෙනවා උනත් කවදාවත් අතින් කෑම දෙන්න නම් පෙළඹෙන්න එපා. විදුලි සැර වදින්න පුළුවන්.

ජලයේ වෙනස් වීම් වලට සංවේදීතාවයක් දක්වන නිසා ජලයේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් කෑම ගන්නවා වගේම අපද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි නිසා සතියකට වරක් 30%-50% පමණ වතුර මාරු කිරීම කරන්න ඕනේ. ඒ වගේම ශ්වසන කාර්යට ජල මතුපිට ට එන නිසා ටැංකියේ ජල මට්ටම අඟල් 6ක් වත්  පහතින් පවත්වා ගැනීම වගේම හොඳ වහලයක් හෝ ආවරණයක් තිබීමත් වැදගත්. ටැංකිය පිරිසිදු කරන විට රබර් අත්වැසුම්, සෙරෙප්පු භාවිතා කිරීම වගේම ලී මිටක් සහිත දැලක් භාවිතා කිරීම සුදුසුයි.



වැඩි කාලයක් ජල පතුලේ ගෙවන විදුලි ආඳා ගොඩක් ක්‍රියාශීලි මත්ස්‍යයෙක් නෙමේ. ඒ නිසා අනෙකුත් විශාල මත්ස්‍යයන්ට වගේ ඉතා විශාල ටැංකි අවශ්‍ය නොවුනත් මෙයාලත් අඩි 4-5 ක පමණ උපරිම වර්ධනයක් තියෙනවා ටැංකියක උනත්. ඒ වගේම වර්ධන වේගය වැඩි. ඉක්මනින් ලොකු වෙනවා. අවම වශයෙන් ගැලුන් 200 ක (ලීටර් 757 ) පමණ ටැංකියකින් ආරම්භ කර වර්ධනයත් සමග ගැලුන් 540 ක පමණ ටැංකියක් භාවිතා කිරීම සුදුසුයි. යාන්තමට ආම්ලික ගතියක් සහිත නිසල ජලය තමා ප්‍රිය කරන්නේ. ph අගය 6.0-8.5 ත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.3-27.8 ත් අතර පවත්වාගැනීම සුදුසු යි.

කලින් සඳහන් කළා වගේ මෙයාලගේ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නිසා හොඳ ෆිල්ටර් එකක් භාවිතා කරන්න ඕනේ. ටැංකිය ඇතුලේ තියෙන දේවල් වලට හානි කරන්න පුළුවන් නිසා ෆිල්ටර් වැනි උපකරණ භාහිරින් (External ) සවි කරගැනීම සුදුසුයි. පිටතින් සවි කළහැකි කැනිස්ටර් ෆිල්ටරයක් වඩාත් සුදුසුයි. නඩත්තුව පහසුයි. විදුලි ආඳා අඳුරු පරිසරයකට තමා ප්‍රිය කරන්නේ. ඒ නිසා මද ආලෝක තත්වයක් පවත්වා ගන්න. ඒ වගේම හැංගෙන්න පුළුවන් විදියට අහු මුළු සහිතව ටැංකියේ අලංකරණ කටයුතු කරන්න ඕනේ. ලී කොට ගල් වැනි දේ භාවිතයෙන් අපුරු පරිසරයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් .

ගති ලක්ෂණ

විදුලි ආඳා කලහකාරී මාළුවෙක් නොවුනත් එයා කෑම සොයාගන්න ක්‍රමවේදය නිසා තනිව ඇති කිරීමයි සුදුසු. මොවුන් එක්කෙන්ක්ට වඩා ටැංකියක සිටීම අවධානම්. වැඩුණු මසුන් නම් ඉඩකඩ ඇති ටැංකියක සහයෝගයෙන් සිටීමට හැකියාවක් තිබුනත් පොඩි පැටවුන් නම් එකිනෙකා කළහ කරගන්නවා. විදුලි ආඳුන් දෙදෙනෙක් කලහයේ දී එකිනෙකා ගේ හිසට වල්ගය ලෙස තබා ගෙන පහර දීම, හපා කෑම වගේම විදුලියද නිදහස් කරනවා.

අභිජනනය.

ඉහත සඳහන් කර ලෙසටම මොවුන්ගේ අභිජනන ක්‍රියාවලියත් සුවිශේෂ යි.
පරිනත වූ ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා ට වඩා ප්‍රමාණයෙන් විශාලයි.
කෘතීම තත්ව යටතේ අභිජනනය සිදු වූ බවක් නම් වාර්තා වෙන්නේ නෑ.
වියලි කාලයේ දී පිරිමි සතා විසින් කෙල වලින් කුඩුවක් සාදන අතර ගැහැණු සතා විසින් එහි බිත්තර 1200-3000 පමණ දමනවා. බිත්තර දැමීමෙන් පසු පිරිමි සත්වයා බිත්තර සංසේචනය සිදු කරන අතර මව හෝ පියා කිසිවකුත් මේ බිත්තර ආරක්ෂා කරන්නේ නෑ . ඒ නිසා ඒවා පහසුවෙන්  විලොපිකයන්ගේ ආහාර බවට පත් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමා මේ බිත්තර පුපුරා පැටවුන් පැමිණීමේ දී මුලින් පැමිණෙන පැටවුන් පුපුරා නැතිව ඉතිරි වූ බිත්තර කෑමට ගන්නවා.


ලෙඩ රෝග.

විදුලි ආඳා හොඳ ඔරොත්තු දෙන මාලුවෙක්. මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා හාමත සහ පෝෂණ ඌනතා . ඊට අමතරව අනෙකුත් මසුන්ට වගේම සමෙහි ඇතිවන පතැල්ලන් (Skin Flukes), ප්‍රොටොසෝවා වැනි පැරසයිට් ආසාධන , බැක්ටීරියා ආසාධන හැදෙන්න පුළුවන්. අනෙකුත් electric knifefish විශේෂ වගේම මෙගොල්ලොත් තඹ (Copper), ෆෝමලීන් අඩංගු ඖෂධ වර්ග වලට සංවේදීතාවයක් දක්වනවා.

රෝග මැඬපවත්වා ගැනීමට නම් කල යුතු වැදගත් ම දේ මත්ස්‍යයාට  හොඳ පරිසර තත්වයක් වගේම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම. ස්වභාවික පරිසරයට සමීප වටපිටාවක් නිර්මාණය කර දීමෙන් මත්ස්‍යයා ගේ ආතතිය නැති වී සතුටින් වගේම සෞඛ්යසම්පන්නව කාලය ගෙවන්න හැකියාවක් ලැබෙනවා. ටැංකියට පිටතින් ලබා දෙන ජීවි ආහාර වගේම ලී කොට , ගල් වැනි සෑම දෙයක්ම අනිවාර්යෙන් නිරෝධායනය (Quarantine ) කළයුතුයි .


විදුලි ආඳා කියන්නේ සුලභ මත්ස්‍යයෙක් උනත් බොහෝ මින් මැදුරු හිමියන් මොවුන්ගේ විදුලිය නිපදවීමේ  විශේෂිත හැකියාව නිසා මෙයාල තියාගන්න කැමති නෑ . ඒ නිසා මිල ටිකක් ඉහලයි.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)
©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2