දුප්පතා ගේ ඩිස්කස් නොහොත් ගෝල්ඩන් සෙවරම් (Golden Severum)






හැඳින්වීම

සාමාන්‍ය සෙවරම් සික්ලිඩ් මසුන්ගෙන් අලුත් විශේෂයක් ලෙස වෙන්කරගත් විශේෂ අතුරින් එකක් වන ගෝල්ඩන් සෙවරම් පළපුරුදු මසුන් ඇතිකරන්නන් මෙන්ම ආධුනික මසුන් ඇති කරන්නන් අතර ද එක සේ ජනප්‍රිය මත්ස්‍යයෙක්. මොවුන්ගේ හැඩයෙන් හා ඕවලාකාර සැකිල්ලෙන් සික්ලිඩ් පවුලේම ඩිස්කස් මසුන්ට සමානතාවක් පෙන්වනවා. මෙයාල ඩිස්කස් මසුන්ගෙන් වෙනස් වන ප්‍රධානම ලක්ෂණ ලෙස ශරීර ප්‍රමාණය සහ වර්ණ හඳුන්වන්න පුළුවන්. ගෝල්ඩන් සෙවරම් මත්ස්‍යයෙක් උපරිම අඟල් 7 ක පමණ වර්ධනයක් පෙන්වන අතර ඩිස්කස මසෙකු ගේ උපරිම වර්ධනය අඟල් 12ක් පමණ වේ.

Banded Cichlid/ Heros severus

 ස්වභාවිකව නම් සෙවරම් සික්ලිඩ්  මත්ස්‍යා කොළ පැහැයට හුරු වර්ණයක් ගන්නා අතර බඳ පෙදෙසේ යාන්තමට කහ/ රන්වන් පැහැයක් දක්නට පුළුවන්. කුඩා පැටවුන්ගේ සිරුරේ කළු පැහැති සිරස් තීරු අටක් දක්නට ඇතත් වර්ධනයත් සමගම ඒවා නැති වී යයි. මේ ඉරි ටික නිසා ම සෙවරම් සික්ලිඩ් මසුන්ට  Banded Cichlid, Convict Fish, Deacon, Sedate Cichlid, Hero, Striped Cichlid යන නම් රැසක්ම භාවිත වෙනවා.

ගෝල්ඩන් සෙවරම් එහෙමත් නැත්නම් ගෝල්ඩ් සෙවරම් කියන්නේ ඉහත කී සාමාන්‍ය සෙවරම් මසුන් කෘතීම පරිසර තත්ත්ව යටතේ අභිජනය කිරීමෙන් ඔවුන්ගේ කළු පැහැති සිරස් පටි නැති ව, කහ පැහැති පැල්ලම් සහිත සුදු පෘෂ්ඨීය වරල සහ වල්ගා වරල හැර සම්පුර්ණ සිරුරම කහ වර්ණයෙන් යුතුව ලබාගත් මත්ස්‍ය විශේෂයයි.

විවිධ වර්ණ වලින් යුතු සෙවරම් සික්ලිඩ් විශේෂ බොහොමයක්ම ඇති අතර ඔවුන් මිල අධික මසුන් නොවේ. ඒ නිසා ම “දුප්පතුන්ගේ ඩිස්කස් මසුන් “ කියන අන්වර්ථ නාමයත් පටබැඳිලා තියෙනවා. මිලෙන් අඩු උනාට ලස්සනෙන් අඩුවක් නෑ වගේම ඩිස්කස්  මසුන්ට තරම් වැඩි සැලකිල්ලකුත් අනවශ්‍ය නිසාම ගොඩක් මසුන් ඇති කරන්නන් මොවුන්ට ප්‍රියයි. මෙයාලගේ ගති ස්වභාවය වගේම  අපුරු හැසිරීම් රටාවත් ඒකට හේතු වෙලා තියෙනවා.

අනෙකුත් බොහෝ  සික්ලිඩ් මසුන් තරම්ම කලහකාරී නොවුනත් මෙයාලට හොඳින් ඉඩ පහසුව තිබීම වැදගත්. සම ප්‍රමාණයේ සාමකාමී මත්ස්‍ය විශේෂ සමග ඉතා සාමකාමිව ( අභිජනන සමයේ හැර ) ඉන්නා මොවුන් තනිව හෝ යුගල වශයෙන් ඇති කරන්න පුළුවන්. ඔවුන්ට වඩා කුඩා හෝ කලහකාරී මසුන් සමග එකට ඇති නොකළ යුතුයි.

ගෝල්ඩන් සෙවරම් මසුන් ඇති කිරීමේ දී තරමක සැලකිල්ලක් අවශ්‍ය නමුත් ඩිස්කස් මසුන්ට තරම්ම සැලකිල්ලක් අනවශ්‍යයි. සුදුසු පරිදි වතුර මාරු කර හොඳින් නඩත්තු කරනවා නම් මොවුන් දිගු කාලයක් සතුටින් , සුවෙන් ඉඳීවි. මෙයාල ඉන්න ටැංකිය හොඳින් වහලා තියන්නත් සැලකිලිමත් වෙන්න ඕනේ, මොකද මෙයාල භය උනාම එලියට පනින්න පෙළඹෙනවා. ගල් , ලී කොට භාවිතයෙන් ස්වභාවික බාධක, බෙදීම් ආකාරයට  ටැංකිය ලස්සන කරගන්න පුළුවන් නම් ඉතා සුදුසුයි. එවිට ඔවුන්ට තමන් ආරක්‍ෂිත ප්‍රදේශයක සුරක්ෂිතව ඉන්නා  හැඟීම දැනෙන බවයි පැවසෙන්නේ. ප්ලාන්ටඩ් ටැංකි වල මෙයාල ඉතාම සතුටින් ඉන්නවා. පාවෙන ශාක වර්ග තමා වඩාත් සුදුසු. මෙයාල ගස් කොළ අස්සේ හැංගිලා ඉන්න ප්‍රිය කරනවා.

වාසස්ථාන සහ ව්‍යාප්තිය.

ගෝල්ඩන් සෙවරම් කියන්නේ අපිට ස්වභාවික පරිසරයේ දකින්න පුළුවන් මත්ස්‍ය වර්ගයක්  නොවන බව ඉහත විස්තරයෙන් පැහැදිලි වෙන්න ඇති. නමුත් සාමාන්‍ය සෙවරම් මත්ස්‍යයන් ඒ කියන්නේ Heros severus මත්ස්‍යා ව හඳුනා ගෙන තිබෙන්නේ වර්ෂ 1840 දී Heckel විසින්. මොවුන් IUCN රතු දත්ත වර්ගීකරණයට ඇතුලත් වී නෑ . දකුණු ඇමෙරිකානු ඔරිනොකෝ ගංගා ද්‍රෝණිය , කොලොම්බියාව සහ වෙනිසියුලාව, ඇමසෝන් ගංගා ද්‍රෝණිය වගේම ඉහල Negro ගංගා ද්‍රෝණිය මෙයාල ස්වභාවිකව දකින්න පුළුවන් ප්‍රදේශ. ශාක වර්ග, ඇල්ගී, කෘමීන්, Zooplankton වැනි දේ ආහාරයට ගන්නව.



ශරීර ස්වභාවය හා ගති ලක්ෂණ
Red spotted golden severum

ඩිස්කස් වැනි තරමක් පැතලි සිරුරක් ඇති මොවුන්ගේ ගුද හා පෘෂ්ඨීය වරල් උල් හැඩයක් ( pointed ) ගන්නවා. දිගින් අඟල් 7 ¾ ක් ( 20 cm ) පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන්ගේ ආයු කාලය අවුරුදු 10ක් පමණ වෙනවා.

සාමාන්‍ය සෙවරම් මසුන් කොළ පැහැයට හුරු සිරුරකින් යුතු අතර බඳ පෙදෙස කහ පැහැයට හුරු රන්වන් පාටකින් යුක්තයි. පැටවුන්ගේ සිරුරේ සිරස් අතට ඇඳුනු තද පැහැති ඉරි අටක් දක්නට ඇතත් පැටවුන් පරිනත වීමත් සමග එම ඉරි නොපෙනී යනවා. මෙයාලට Banded Cichlid කියන නම ලැබිලා තියෙන්නෙත් මේ ඉරි හින්දාමයි. මෙයාල නිතර ඉහල බලා ඉන්න ආකාරයට ඉන්න  එකත් විශේෂයි . කෘතීම පරිසර තුල අභිජනනයෙන් දුඹුරු, කොළ, රන්වන් පාට හා දීප්තිමත් නිල් ( turquoise) වැනි විවිධ වර්ණ වලින් යුත් සෙවරම් මසුන් හඳුන්වා දී තිබෙනවා. ගෝල්ඩන් සෙවරම් කියන්නෙත් එහෙම හඳුන්වා දුන් එක් මාළු විශේෂයක්. මොවුන්ගේ සම්පුර්ණ සිරුර ම ලා කහ/ රන්වන් පැහැයක් ගන්නා අතර ගුද වරල ,ශ්‍රෝණි වරල වගේම ළය වරලත් කහ පැහැති යි. පෘෂ්ඨීය වරල හා වල්ගා වරල පමණක් සුදට හුරු වන අතර කහ පැහැති පැල්ලම් දකින්න පුලුවන්. ඇස් දෙකත් කහ පැහැතියි.

සාමාන්‍ය දත් ඇඳි වලට අමතරව මොවුන්ගේ උගුරේ හොඳින් වැඩුණු Pharyngeal දත් ඇන්දක් පිහිටනවා. මෙය wrasses, parrot fish වැනි කරදිය වසන සික්ලිඩ් මසුන් වර්ග ඇතුළුව සියලුම සික්ලිඩ් මසුන් ගේ දැකිය හැකි පොදු ලක්ෂණයක්. තවද සික්ලිඩ් මසුන්ගේ ගුද, පෘෂ්ඨීය, ළය මෙන්ම ශ්‍රෝණි වරල් වල  පිටුපස කොටස  කටු කටු ස්වභාවයක් (Spiny rays ) පිහිටන්නේ විලෝපිකයන් වලකන්න . මෙම වරල් වල ඉදිරිපස මෘදු ස්වභාවයක් ගන්නා අතර එය කාර්යක්‍ෂම පිහිනා යාමට උපකාරී වෙනවා.
සික්ලිඩ් මසුන් ගේ Pharyngeal teeth

අනෙකුත් මසුන්ට යුගල දෙක බැගින් පිහිටියත් සික්ලිඩ් මසුන්ට එක් පසෙක එක බැගිනුයි නාස් විවර පිහිටා තියෙන්නේ. ගඳ සුවඳ බැලීමේ දී මොවුන් ජලය උරාගන්නා අතර අවශ්‍ය ප්‍රමාණයට රඳවා ගෙන ඉතිරිය ඉවතට දමනු ලැබේ. රඳවා ගන්නා ජල සාම්පලයේ ගඳ සුවඳ බැලීමේ කාලය මාළුවා ගේ අවශ්‍යතාවය මත රඳා පවතී. මෙම ලක්ෂණය කරදිය මසෙකු වන Damsel මත්ස්‍යා ගේ ද දැකිය හැකි ය.

ටැංකි පවත්වා ගැනීම/කෑම සහ නඩත්තුව.

සෙවරම් කියන්නේ මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය සික්ලිඩ් වර්ගයක්. ආධුනිකයෙකුට උනත් පහසුවෙන් නඩත්තු කල හැකි මාලුවෙක් වීම එයට හේතු වෙලා තියෙනවා.

ගෝල්ඩන් සෙවරම් කියන්නේ සර්වභක්ෂක මත්ස්‍යයෙක්. Blood worms, Earthworms, කරදිය ක්රස්ටේශියාවන්, pellets වර්ග වගේම ග්‍රීන් පීස්, සුකිනි වැනි ශාකමය දේ ත් ආහාර විදියට දෙන්න පුළුවන්. ග්‍රීන් පීස් වලට මොවුන් විශේෂ කැමැත්තක් දක්වනවා.

දිරවීමට අපහසු වීමෙන් ලෙඩ වීමට හැකි නිසා හරක් පීකුදු ආහාරයට එකතු කරන්න සුදුසු නෑ . දිනකට 2-5 වරක් පමණ කුඩා ප්‍රමාන වලින් මිස දිනකට එක වරක් ආහාර ගොඩක් ලබා දීම නොකළ යුතුය. ඒ මගින් වතුරේ ගුණාත්මක බව ද රැකෙයි. සතියකට එක දිනක් නිරාහාරව තැබීමත් හොඳයි.

ජලයේ ගුණාත්මක භාවය පවත්වාගන්නේ නම් ගෝල්ඩන් සෙවරම් මසුන් ඇතිකිරීම අපහසු නෑ . ටැංකිය වැස්මක් සහිත විය යුතුය. දිරාපත් වන ද්‍රව්‍ය, අපද්‍රව්‍ය , ජලයේ නයිට්‍රේට හා පොස්ෆේට ඇති වීම හා ජලය වාෂ්පීකරණය වීම නිසා ජලයේ ගුණාත්මක බව වෙනස් වීමට පුළුවන්. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ටැංකියේ සිටින මත්ස්‍යය ප්‍රමාණය අනුව සතියකට හෝ දෙකකට වරක් 10%-20% අතර ජලය මාරු කරන්න ඕනේ.

ඊට අමතරව ඇල්ගී ඉවත් කර මතු පිට පෘෂ්ටය පැහැදිලිව තබා ගැනීම සුදුසුයි. හොඳින් ඔක්සිජන් මට්ටම පවත්වා ගැනීම මසුන් ගේ වර්ණවත් බව පැවතීමට ත් රුකුලක්.

මෙයාල තරමක ලොකු මසුන් නිසා ටැංකියත් ඉඩ පහසු සහිත වෙන්න ඕනේ. තනි මාලුවෙක් ට නම් අඩුම ගැලුන් 45ක පමණ ටැංකියක් වගේම අභිජනනයට සුදානම් යුවලකට නම් ගැලුම් 100ක පමණ ටැංකියක් ප්‍රමාණවත්. ටැංකියේ ප්‍රමාණය විශාල වෙන්න වෙන්න කලහකාරී බව අඩු වෙනවා. මිරිදිය මෙන්ම මඳ වශයෙන් කිවුල් සහිත ජලයේ ද හොඳින් ජිවත් වෙන්න මේගොල්ලන්ට පුළුවන්. මද සෙලවීමක් සහිත ජලය ට තමයි කැමති. ඒ වගේම හොඳ පෙරහන් පද්ධතියකුත් අවශ්‍ය යි. ආලෝක තත්වය අඩු හෝ මධ්‍යස්තව පවත්වා ගැනීම සුදුසුයි.

ටැංකිය අලංකරණයේ දී  ගල්, ලි කොට වැනි දේ යොදා ගෙන ස්වභාවික පරිසරයක් ආකාරයට සකස් කරදීම සුදුසුයි. ස්වභාවික ආකාරයට සෑදුනු ගුහා වගේ තැන් වල  ආරක්ෂාවට වගේම හුදෙකලාව විවේක ගන්නත් මෙයාල කැමති. ලී කැබලි  භාවිතයෙන් අඩු ph අගයක් පවත්වා ගැනීමට වගේම එයාලා අයිති දකුණු ඇමෙරිකානු ගංගාවක පරිසරයක් නිර්මාණය කර දෙන්නත් පුළුවන්. ජීවී හෝ අජීවී ශාක සහිත ටැංකි වලට තමා ගොඩක්ම කැමති. විශේෂයෙන් පාවෙන ශාක වල යටට වෙලා හැංගිලා ඉන්න ගොඩක් කැමතියි. හැබැයි ශාක හදනකොට මුල්  හොඳින් යටකරලා හිටවන්න ඕනේ. මෙයාලට බිම හාරන පුරුද්දක් තියෙන නිසා ශාක වලට හානි වෙන්නත් පුළුවන්. ජීවි ශාක භාවිතා කරනවා නම් අනුබියස් හෝ Cryptocoryne වර්ග ගැලපෙන බවයි සඳහන් වෙන්නේ. වගා මාධ්‍යය විදියට වැලි යොදාගන්න පුළුවන්.

ටැංකිය තුල ස්වභාවික පරිසරයක් ලබා දෙන්න නම් ටැංකියට වියලි කොළ හෝ ඇක්වෙරියම් සඳහා ම වන කොහුබත් මල්ලක් එකතු කරන්න පුළුවන්. ඒ මගින් ජලයේ වර්ණය වෙනස් වෙනවා. මේගොල්ලෝ කැමති අඳුරු පාට වතුර (Black water) තත්වයට. ටැංකියේ ph අගය 6.0-6.5 අතර ත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 26-27 අතර ත් පවත්වා ගැනීම සුදුසු යි.

හැසිරීම් රටා
ගෝල්ඩන් සෙවරම් මසුන් ප්‍රිය කරන ජල තත්වයන්ට ම ප්‍රිය සම ප්‍රමාණයේ මසුන් සමග ඇති කිරීම සුදුසු උනත් කලහකාරී මසුන් එක්ක නම් ඇතිකරන එක සුදුසු නෑ .

අප්‍රිකානු සික්ලිඩ් නෑයන්ට වඩා දකුණු ඇමෙරිකානු සික්ලිඩ් මසුන්ගේ කලහකාරී ගතිය අඩු උනත් අවශ්‍ය පමණ ඉඩ පහසුව ලබාදීම ඉතා වැදගත්. ගැලුම් 100 කට වඩා ලොකු ඉඩකඩ තියෙන ටැංකියක නම් අනෙකුත් සෙවරම් වර්ගත් එක්ක සාමකාමිව ඉන්න පුළුවන්. වඩා වේගවත් මතස්‍ය විශේෂයක් ටැංකියට එකතු කිරීමෙන් අභිජනන සමයේ වුවත් කලහකාරි බව එම මසුන් දෙදෙනා අතරම පවතී වී.

Flag cichlid, Blue Acara වැනි Aequidens විශේෂ, පර්ල් සික්ලිඩ් වැනි eartheaters, ලොකු ඒන්ජල් මසුන් සෙවරම් හා එක ටැංකියකට සුදුසු සික්ලිඩ් මත්ස්‍ය විශේෂ. ඊට අමතරව Loricariid සහ Callichyid ගණ වලට අයත් කැට් ෆිෂ් වර්ග , Cyprinid පවුලේ බාබ් සහ ශාර්ක් වර්ග, ලෝච් වර්ග, Characin පවුලේ සිල්වර් ඩොලර් වැනි ලොකු මත්ස්‍යය  විශේෂ, සම ප්‍රමාණයේ ගුරාමි මසුන් ද සෙවරම් මසුන් හා එකම ටැංකියේ ඇතිකරන්න පුළුවන්.

සැ. යු : සෙවරම් මසුන්ට වඩා කුඩා මසුන් එක් කලොත් ඔවුන් ආහාර පිණිස ගනු ඇත.

අභිජනනය.


ගැහැණු මත්ස්‍යයා ගේ පෘෂ්ඨීය වරල තද පැහැති පැල්ලම් වලින් යුක්ත වන අතර හිස දෙසට එම රටාව අඩුවෙමින් යනවා. 

පිරිමි මත්ස්‍යයාගේ ගුද හා පෘෂ්ඨීය වරල් වල උල් ස්වභාවය වැඩි අතර හොඳින් පෝෂණය කරන පිරිමි සතුන් පරිනතියට  පත් වන විට කුඩා මොල්ලියක් වැනි නෙරුමක් ඇති වේ.

ගැහැණු සත්වයා ප්‍රමාණයෙන් පිරිමි සත්වයාට වඩා කුඩා යි.

අභිජනනය සඳහා මසුන් තෝරා ගැනීමේ දී කුඩා  සෙවරම් මසුන් 6-8 ක් පමණ ගෙන ලිංගික පරිනතියට පත් වූ පසු  එකිනෙකාට සහකරුවන් සොයාගැනීමට අවස්තාව ලබා දීම යි වඩාත්ම සුදුසු. ( ඩිස්කස් මසුන් මෙන් ) එවිට ඔවුන් විසින්ම නිවැරදි ජෝඩු ගලපාගනී.

අභිජනන සමයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26-27  සහ ph අගය  6.0 පමණ පවත්වා ගැනීම සුදුසු ය.

අභිජනන සමය තුල දී ජීවී ආහාර ලබා දීමෙන් හොඳ තත්වයේ බිත්තර ලැබෙන බවට ත් මතයක් තියෙනවා.

අභිජනන කාලය වන විට පිරිමි මත්ස්‍යා ගේ වර්ණ  තද පැහැයක් ගන්නවා.

බිත්තර දැමීමට පෙර මසුන් දෙදෙනා ඔවුනොවුන්ගේ කට හා වල්ගා එකිනෙකට අතුල්ලා ගනිමින් ඉන්නා ඉතා ආදරණිය හැසිරීම් බලන්න පුළුවන්.

අභිජනන ටැංකිය ලෙස හිස් ටැංකියක් ( වැඩි ගස්, ගල් , ලී වලින් තොර ) යොදා ගැනීම සුදුසුයි. උෂ්ණත්වය පවත්වා ගැනීමට හිටරයක් භාවිත කරන්න පුළුවන් . වතුර මාරු කරමින් ජලයේ ගුණාත්මක බවත් පවත්වා ගන්න ඕනේ.
බිත්තර දැමීම සඳහා පැතලි මතුපිටකින් යුතු හෝ රවුම් හැඩති ගලක්, ලි කොටයක් හෝ එවැනි දෙයක් ටැංකිය තුල තැබිය යුතුයි.
ගැහැනු සත්වයා වරකට ඕවලාකාර  බිත්තර 1000 ක් පමණ ඒ සඳහා සපයා දුන් මතුපිටෙහි දමන අතර එම බිත්තර ප්‍රමාණය ඇගේ වයස හා ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.
බිත්තර දැමු පසු පිරිමි සත්වයා විසින් ඒවා සංසේචනය කරන අතර මව පියා දෙදෙනාම ඉතා හොඳින් ඒවා ආරක්ෂා කරනවා.
බිත්තර පුපුරා එලියට එන තවමත් පිහිනීමට නොහැකි කුඩා කීටයන් මවු මසුන් විසින් තම මුඛය තුලට ගෙන ආරක්ෂා කරනවා. ඔවුන් නැවත එලියට දමන්නේ පැටවුන් පිහිනිය හැකි තරමට වැඩුණු විටයි.
Brine Shrims, Flakes, pellet, micro worms,daphnia වැනි දේ අලුත උපන් පැටවුන්ට ආහාර ලෙස දිය හැකියි.
ඉපදී සති 6ක් පමණ වන තුරු මවු මසුන් විසින් පැටවුන් ආරක්ෂා කරනවා.
ලෙඩ රෝග


අනෙකුත් සුරතල් මසුන්ට වැළඳෙන ලෙඩ රෝග ම මෙයාලටත් හැදෙන්න පුළුවන්. බහුලවම දකින්න පුළුවන් තත්වයක් ලෙස Ich හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර ලෙස සතියකට පමණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් දක්වා වැඩි කිරීම සුදුසු අතර එය මත්ස්‍යයා ට හානියක් නොවන්නේ ඔවුන් ට ඉහල උෂ්ණත්වයකට උවත් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති නිසා .
හෝල් ඉන් ද හෙඩ් නොහොත් පින් හෝල් කියන රෝගී තත්වයත් මෙයාලගේ බහුලව දකින්න පුළුවන් වෙන්නේ වතුර වල ගුණාත්මක භාවය අඩු නම්. මේ තත්වය විටමින් C , D කැල්සියම් හා පොස්පරස් වැනි පෝෂණ ඌනතා නිසා ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

 ටැංකියට පිටතින් එක්කරන දෑ හොඳින් නිරෝධායනය කිරීම, ගුණාත්මක ජල තත්වයක් පවත්වා ගැනීම හා පෝෂ්‍යදායි ආහාර ලබා දීමෙන් ලෙඩ රෝග වලින් තොර සෙවරම් මසුන් ටැංකියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)
©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2