ටැංකිය පිරිසිදු කරන අලංකාර Kuhli Loach



හැඳින්වීම 

කුහ්ලි ලෝච් එහෙමත් නැත්නම් Pangio kuhlii කියන්නේ ක්‍රියාශීලි ලස්සන සුටි මත්ස්‍යය විශේෂයක්. මෙයාලගේ හැසිරීමත් Pangio පවුලේ අනෙක් සාමාජිකයන්ගේ හැසිරීමට සමානකමක් පෙන්වනවා. නිතරම වාගේ චලනයන් දක්වන මෙයා ගස් , ගල් වගේම ටැංකිවල විසිතුරු බඩු අස්සේ ඔබ මොබ සැරිසරමින් තමා ඉන්න කැමති. මේ දාන්ගලේට හේතුව තමා මෙයා මේ කැරකි කැරකි හොයන්නේ ටැංකි පතුලේ ඉතිරි වෙලා තියෙන කෑම. සරලවම මෙයා කසල ශෝධක මාලුවෙක් කියල කියන්නත් පුළුවන්. ඒ හින්දාම ටැංකිය පිරිසිදුව තියාගන්න ගොඩක් උපකාරී වෙන මාලුවෙක් තමා මේ Kuhli ලෝච්.

මෙයා ගොඩක්ම හඳුන්වන්නේ Kuhli ලෝච් හෝ Prickly Eye කියන නම් වලින් උනත් එක එක රටවල මෙයාලට විවිඩ නම් භාවිතා වෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකා වේ මෙයාලට Coolie ලෝච්, Giant , Coolie ලෝච්, Leopard Loach, Cinnamon Loach වගේ නම් භාවිතා වෙනවා. ඒ වගේම මෙයාල මසුන් ඇති කරන්නන් අතරත් බොහොම ජනප්‍රියයි. වසරකට කුහ්ලි ලෝච් මසුන් මිලියන ගණනින් අපනයනය කෙරෙනවා.

රාත්‍රියේ දී ගොඩක් ක්‍රියාකාරී වෙන හින්දා නිශාචරයෙක් කියලත් කියන්න පුළුවන්. තනියම ඉන්නවා නම් මේගොල්ලෝ ටිකක් ලැජ්ජාශීලි යි, නිතර දකින්නත් ලැබෙන්නේ නෑ . ඒකෙන් අදහස් වෙන්නේ නෑ මෙයා රංචු වශයෙන් ජිවත් වෙන මත්ස්‍යයෙක් කියල .නමුත් මෙයාලට යාළුවො ඉන්නවා නම් හැංගිලා ඉන්නේ නැතුව එලියට එනවා. හොඳින්ම ක්‍රියාකාරී වෙනවා. අඩුම වශයෙන හයදෙනෙක් වගේ එකට ඉන්නවා නම් මෙයාලගේ සාමාන්‍ය හැසිරීම් රටාව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් . පණ හයිය මාලුවෙක් කියල කියන්න පුළුවන් මෙයාල අවුරුදු කිහිපයක්ම ජිවත් වෙනවා.

Pangio පවුලේ අනෙකුත් ලෝච් වර්ග වලත් හැසිරීම් රටා බොහෝදුරට  kuhli ලෝච්ලට සමානයි. මෙයාල හැමෝටම වගේ තියෙන්නේ පණුවෙක් වගේ දිගටි ශරීර හැඩයක්. ඒ වගේම ප්‍රමාණය හා පෙනුමෙනුත් සමානකම් පෙන්වනවා. මේ හැමෝම ටැංකිය පිරිසිදුව තියාගන්න උදව් කරන හොඳ කසල ශෝධකයෝ. කොහොම උනත් වෙනස් වර්ණ රටා හා වැඩුනු මසුන්ගේ ශරීර ප්‍රමාන අනුව  මේ මාළු වර්ග  එකිනෙකාගෙන් වෙන්ව හඳුනාගන්න පුළුවන්.
Pangio myersi

Pangio semicincta

Pangio shelforodii

Pangio cuneovirgata

Pangio oblonga

Java loach හෙවත් Black Kuhli Loach ( Pangio oblonga) , Myer’s Loach එහෙමත් නැත්නම්   Myer’s Slimy Loach නොහොත් Giant Kuhli Loach (Pangio myersi) ,India Thorneye (Pangio cuneovirgata), Half banded loach (Pangio semicincta) , Shelford’s Thorneye නොහොත් Borneo Loach (Pangio shelfordii ) වගේම නිතර දකින්නට නොලැබෙන Dwarf Kuhli (Pangio robiginosa) කියන්නෙත් එකම පවුලේ කට්ටිය.

ව්‍යාප්තිය සහ වාසස්ථාන

Kuhli ලෝච් Pangio kuhlii ලෙසින් දැන් හැඳින්වුවත් කලින් මෙයාලගේ විද්යාත්මක නාමය  පැවතුනේ Acanthophthalmus Kuhlii ලෙසයි. මොවුන්ව හඳුනාගෙන තියෙන්නේ වර්ෂ 1846 දී Valenciennes විසින්. අග්නිදිග ආසියාවේ සුමාත්‍රා,සිංගප්පුරුව, බටහිර මැලේශියාව ,ජාවා, බෝර්නියෝ සහ තායිලන්තයේ දී මොවුන් හමුවෙනවා. මෙම විශේෂය තවමත් IUCN රතු දත්ත පොතට නම් ඇතුලත් වෙලා නැහැ. ප්‍රික්ලි අයි, කූලි ලෝච්, ජයන්ට් කූලි ලෝච්,සිනමන් ලෝච් සහ ලෙපර්ඩ් ලෝච් කියල කියන්නෙත් මේගොල්ලන්ට ම තමා.

කොළ රොඩු සහිත කඳුකර දියසීරාවන් මෙන්ම වැලි සහිත සෙමෙන් ගලායන ගංගා තමා මේගොල්ලන්ගේ වාසස්ථාන වෙන්නේ.සාමාන්යෙන් ගස් වියන් වලින් සෙවන වුනු පරිසරයට තමා මේ ගොල්ල කැමති. ස්වභාවිකව මේ ගොල්ලෝ කාණ්ඩ වශයෙන් හමුවුනත් මෙයාල රංචුවක් එක්කම ඉන්න මාළු වර්ගයක් නෙමේ.

ශරීර හැඩය හා ස්වභාවය

අඟල් 3-4.5 ක් (සෙන්ටි මීටර 7.8-12) පමණ වැඩෙන මොවුන් පණුවෙක් වගේ දිගටියි. ටැංකියක නම් මීට වඩා ටිකක් ප්‍රමාණයෙන් කුඩා යි. උපරිම ආයු කාලය අවුරුදු 10ක් ලෙස සැලකුනත් ඊට වඩා වසර ගණනක් ජිවත් වූ බවටත් වාර්තා වෙනවා.

වර්ණයෙන් රෝස පැහැයට හුරු කහ පැහැයක් ගන්නා මොවුන්ගේ සිරුරේ සිරස් අතට තද පැහැයෙන් යුතු තීරු 12-17ක් පමණ තියෙනවා. එයින් තීරු තුනක්ම හිස ප්‍රදේශයේ  දකින්න පුළුවන්. හිසෙයි කොරපොතු පිහිටන්නේ නෑ . මෙයාලගේ ඇස විනිවිද පෙනෙනසුලු සමකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම පොඩි රැවුල් ජෝඩු තුනකුත් පිහිටලා තියෙනවා. පෘෂ්ඨීය වරල ආරම්භ වන්නේ ටිකක් පිටුපසට වෙන්නයි. පෘෂ්ඨීය වරලේ අවසානයත් එක්කම ගුද වරල පිහිටනවා.

මෙයාලගේ ඇල්බිනෝ විශේෂයකුත් ඉන්නවා. කෘතිමව අභිජනනය කිරීමෙන් හැදුන මේ ඇල්බිනෝ විශේෂය ස්වභාවිකව නම් හමු වෙන්නේ නෑ. ඉතා පැහැදිලිව දකින්න පුළුවන් නිසා ඇල්බිනෝ විශේෂය විලෝපිකයන්ට නම් හොඳ කෑමක් වෙනවා.



ගෘහස්තව ඇතිකිරීම.


නිවැරදි පරිසර තත්ත්ව ලබාදෙන්නේ නම් මෙයාලව හුරතලේට ඇති  කරන්න අමාරු නෑ . ඒත් ආධුනිකයින්ට නම් සුදුසුයි කියල නිර්දේශ කරන්නේ නෑ. වතුර හොඳ පිරිසිදුව තියෙන්න ඕනේ. අනිත් කාරණේ මෙයාලගේ හිස ප්‍රදේශයේ කොරපොතු පිහිටන්නේ නැති නිසා චර්ම රෝග වලට නිරාවරණය වෙන්න පහසුයි වගේම ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර වලදීත් සංවේදිතා පෙන්වනවා. කොරපොතු නැති මසුන් ට හුරු කෙනෙක්ට නම් මෙයාලගේ නඩත්තුව අපහසු වෙන්නේ නෑ. වැදගත්ම දේ ජීව විද්‍යාත්මකව පරිණත නොවූ (Biologically immature) ටැංකියකට (ඒ කියන්නේ ටැංකියේ biological filteratiion වලට අවශ්‍ය micro organism හැදිලා නැති ) මේගොල්ලෝ දාන්න සුදුසු නෑ .

ආහාර


මෙයාල සර්වභක්ෂකයෝ . ඒ නිසා ශාකමය වගේම මාංශමය ආහාරත් ගන්නවා. ජලය යටට ගිලෙන කෑම වර්ග තමා දෙන්න ඕනේ . ෆ්ලෙක්ස්, ඇල්ගී වෙෆර්ස් , ටියුබිෆ්ලෙක්ස් පනුවන්,බ්‍රයින් ශ්‍රිම්ප්ස් ( සජීවී හෝ ශිත කල ) ,මදුරු කීටයන්, daphnia වැනි දේ ආහාර විදියට දෙන්න පුළුවන්. හොඳ පෝෂ්‍යදායි ආහාර ලබා දීමෙන් සෞඛ්‍ය සම්පන්න ලෝච් මසුන් ඇතිකරගන්න පුළුවන්. දිනකට දෙතුන් වරක් ආහාර ලබාදෙන්න ඕනේ.

ටැංකි සැකසීම හා නඩත්තුව

ලෝච් මසුන් ඇතිකිරීමේදී වැදගත්ම දේ වෙන්නේ හොඳ පිරිසිදු වතුර හා හොඳ ඔක්සිජන් සැපයුමක් ලබාදීම. සතියකට වරක් 30%ක පමණ වතුර මාරු කිරීම වගේම ටැංකිය පතුලේ ඇති ගල් වැලි වැනි දේවල් ද වැකුම් කර ඉතිරි වී තිබෙන ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඉවත් කල යුතුය.මැග්නට් ඇල්ගී පිරිසිදුකරණයක් භාවිතා කර විදුරු පිරිසිදු කරගන්න පුළුවන්.

කුහ්ලි ලෝච් කියන්නේ ටැංකිය පතුලේ ඉන්න කැමති මත්ස්‍යය විශේෂයක්. ඒත් රාත්‍රියට නම් ටැංකිය පුරාම ක්‍රියාශීලි වෙනවා.

මේගොල්ලට සාමාන්‍ය ප්‍රමාණයේ (ගැලුන් 20 ක් හෝ වැඩි ) ටැංකියක් ප්‍රමාණවත්. යාන්තමට ආම්ලික ගතියක් තියෙන ජලය සුදුසුයි. ආලෝක තත්වය අඩුවෙන් ලබාදෙන්න ඕනේ. හොඳින් ඔක්සිජන් ලබාදෙන්නත් ඕනේ. ටැංකිය පුරා හොද ඔක්සිජන් තත්වයක් පවත්වාගන්නා ගමන් අපද්‍රව්‍ය ඉවත් කරන අන්ඩර් ග්‍රැවල් ෆිල්ටරයක් ඉතාම සුදුසුයි.

තමන්ගේ කැමැත්ත පරිදි ටැංකිය අලංකාර කරගන්න පුළුවන්. පතුලට නම් තියුණු දාර නැති  ග්‍රැවල් හෝ වැලි තමා වඩාත් සුදුසු. මත්ස්‍ය ටැංකි වලට යොදන peat moss හෝ ස්වභාවිකව හමුවන ඒ හා සමාන  පාසි වර්ගයක් පතුලේ ඇතිරීම ත් එයාලව සතුටින් තියන්න හේතු වේවි. ඒ වගේම සුමුදු මතුපිටක් සහිත ගල්, ලි කොට , ඇඹරි ගිය මුල් වගේ දේවල් යොදාගෙන මෙයාලට අපුරු පරිසරයක් හදල දෙන්න පුළුවන්. මේගොල්ලෝ ගොඩක්ම කැමති අහු මුළු වල රිංගන්න. ඒ හින්දා ටැංකිය අලංකරණයේදී කුඩා විවර, හිඩැස් එහෙම නිර්මාණය කරගන්න වගබලාගන්න. පතුලේම ඉන්නවා උනත් අවස්තාවක් ලද සැනින් එලියට පනින්නත් මේගොල්ලෝ දස්සයි. ඒ හින්දා හොඳින් වැසුණු ටැංකියක් වීමත් වැදගත්.
සෙල්සියස් අංශක 22.8-30.0 අතර උෂ්ණත්වය වගේම ph අගය 5.5-6.5 අතර පැවතීම මෙයාලට හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙනවා.


ගති ලක්ෂණ

ලෝච් කියන්නේ අනෙකුත් මත්ස්‍ය වර්ග එක්ක උනත් ඇති කරන්න පුළුවන් සාමකාමී මාලුවෙක්. ඒ වගේම ටැංකිය පතුලේ ඇති ඉතුරු බිතුරු කෑම කෑලි ඔක්කොම හොඳින් සුද්ද කරලා දෙන හොඳ කසල ශෝධකයෙක්. දිවා කාලයේ දී ටැංකිය පතුලට වී අහුමුළු වල රිංගමින් කල් ගෙව්වත් රාත්‍රී කාලයේදී ටැංකිය පුරා පිහිනන හොඳ ක්‍රියාශීලි මාලුවෙක්. තනිව ඉන්නා විට එලිපහලියට එන්නේ බොහොම කලාතුරකින් උනත් ලෝච් මසුන් 5-6 ක් එකට සිටි නම් හොඳින් එලිපහලියේ හැසිරෙනවා. ඒ හින්දා අඩු තරමේ මසුන් 6ක් වත් එක ටැංකියක ඇතිකිරීම සුදුසුයි. ඒත් මේ ගොල්ලෝ රංචු වශයෙන් ඉන්න මාළු වර්ගයක් නම් නෙමේ.

අභිජනනය

පරිණත පිරිමි මත්සයාගේ ළය වරලේ පළමු ray එකේ  බෙදීමක් හා තද බවක් දකින්නට පුළුවන්. ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා ට වඩා ප්‍රමාණයෙන් ටිකක් විතර ලොකුයි. බිත්තර තියෙන ගැහැණු මසුන් පෘෂ්ටිමත් ස්වභාවයක් ගන්නවා.

මින් මැදුරු තුල මොවුන් සාර්ථකව අභිජනනය කර ඇතත් ඒ පිලිබඳ වැඩි විස්තර නම් සඳහන් වෙන්නෙ නැහැ . ගැහැණු මත්ස්‍යයා විසින් දීප්තිමත් කොළ පැහැයකින් යුතු ඇලෙනසුලු බිත්තර පාවෙන ශාක වල අලවනවා. ඒවා ශාක මුල් හෝ කඳන් මත හොඳින් ඇලී පවතිනවා. Herbert Axelrod විසින් මෙම බිත්තර, බුබුලක් තුල බිත්තර එක් වී සැදුන  පෙණ කුඩුවක් (Bubble nest ) ලෙස  හඳුන්වා තිබෙනවා.

ලෙඩ රෝග

අනෙක් මසුන් වර්ග හා සැසඳූ විට ලෝච් වර්ග රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩියි. සිරුරේ කොරපොතු සිහින් වීම හා හිස කොරපොතු වලින් තොරව තිබීම එයට හේතු වෙනවා. අලුතෙන් මෙයාල ටැංකියකට දානකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාල බෙහෙත් වර්ග වලටත් ටිකක් සංවේදී යි. ඒ නිසා වෙනම හොස්පිටල් ටෑන්ක් එකක් තියාගැනීම සුදුසුයි. වතුර තත්වය වෙනස් වීම, වතුරේ උෂ්ණත්වය අඩු වීම වැනි හේතු නිසා ත් මේගොල්ලෝ ආතතියට පත් වීම වගේම ඒ හින්දා රෝගී වීමත් වෙන්න පුළුවන්.


Ich එහෙමත් නැත්නම් Ichthyophthirius කියන්නේ ලෝච් ල අතර සුලභව ම දකින්න පුළුවන් රෝග තත්වයක්. පැරසයිට් එකක් වන මෙය ඉතා පහසුවෙන් අනෙක් මසුන්ටත් බෝ වෙන්න පුළුවන්. ප්‍රතිකාර කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුතු අතර සාමාන්‍ය මාත්‍රාවෙන් අඩක් ලබා දීම සුදුසු බවයි සඳහන් වෙන්නේ.
ඒ වගේම මෙයාල අතර සුලභ තවත් රෝග තත්වයක් තමා සිරුර කෘෂ වීම. හොඳින් ආහාර ගන්නා නමුත් සිදුවන බර අඩු වීමට අභ්‍යන්තර පැරසයිට් ආසාදන හේතුවෙනව.

රෝගී තත්ත්ව මුල් අවස්ථාවේ දී ම හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමෙන් මසුන් ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම පිරිසුදු වතුර , ස්වභාවික පරිසරයට සමාන පරිසර තත්වයක් හා  පෝෂ්‍යදායි සමබල ආහාර ලබා දීමෙන් මොවුන්ට  සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ගෙවන්න පුළුවන්.
ටැංකියට පිටතින් යමක් එකතු කරන්නේ නම් නිරෝධායනය කල යුතුමයි.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )

©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2