දේදුනු වර්ණ පිරි අලංකාර කොංගෝ ටෙට්රා මසුන්.

Congo Tetra 
(Phenacogrammus interruptusis)


ටෙට්රා පවුලේ ඉන්න ඉතා අලංකාර පුංචි මත්ස්‍යය වර්ගයක් විදියට Congo Tetra හඳුන්වන්න පුළුවන්. මේගොල්ලෝ ඇක්වෙරියම් වල හිටියත් බොහෝවිට  පැහැදිලිව දකින්න අමාරුයි. තරුණ වියට පැමිණි මසුන්ගේ උනත් නියම වර්ණ ලැබිල නැති වීම තමා ඒකට හේතුව. මෙයාලගේ නියම වර්ණ දකින්න පුළුවන් වෙන්නේ වර්ධනය සම්පුර්ණ වූ  වැඩිහිටි මසුන්ගේ තමා. කොහොම උනත් වැඩිහිටි මසුන් ගැන සලකුවම අප්‍රිකානු Characins සාමාජිකයන් අතර අලංකාරම මත්ස්‍යා විදියට හඳුන්වා දෙන්නත් පුළුවන්.  ඉතා දීප්තිමත් දේදුනු වර්ණ වලින් මේගොල්ලන්ගේ සිරුර  පෘෂ්ටීය , ගුද හා වල්ග වරල් වලින් අලංකාර වී තිබෙන අතර වල්ගා වරල පිහාටු වැනි උපාංග වලින් තවත් ලස්සන වෙලා තියෙනවා.

රංචු විදියට ජීවත් වෙන සාමකාමී මසුන් විශේෂයක් උනත් වෙනත් මසුන් විශේෂ එක්ක ඉන්නකොට නම් ටිකක් විතර කලබලකාරී වෙන්න පුළුවන්. හොඳ තත්වයෙන් යුතුව වර්ධනය වෙන්න නම් අඩුම තරමේ මසුන් 06 කින් වත් යුතු රංචුවක් එකට ඉන්න ඕනේ. පිරිමි මසුන් අඟල් 3ක් (8.5 cm ) පමණ දක්වා උපරිම වර්ධනයක් පෙන්වන අතර අඩුම තරමේ ගැලුන් 40ක් හෝ ඊට වැඩි ටැංකියක් සැපයීම සුදුසුයි. මධ්‍යයේ විවෘත අවකාශයක් සහිත ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් වඩාත්ම සුදුසු වන අතර ඒ මඟින් ඔවුන්ට මනාව පිහිනීමේ අවකාශ වගේම වර්ණ හොඳින් වර්ධනය වීමටත් උපකාරී වෙනවා.

මසුන් ඇතිකරලා අත්දැකීම් ඇති අයට තමා කොන්ගෝ ටෙට්රා ඇති කරන්න සුදුසුයි කියල නිර්දේශ කරන්නේ. මෙයාලගේ වර්ණ හොඳින් පවතින්න වතුර වල ගුණාත්මකභාවය ගැන ඉතා සැලකිලිමත් වෙන්න වෙන එක තමා එයට හේතුව. මේගොල්ලෝ අඩු ආලෝක තත්ත්ව ප්‍රිය කරන විශේෂයක්. පාවෙන පැළෑටි, අඳුරු උපස්තරයක් යෙදීම හා Peat moss මගින් පෙරණය කළ මෘදු ජලය මෙයාලට සුවපහසු පරිසරයක් හදනවා. මඳ ආලෝකය තියෙද්දී උනත් මෙයාලගේ දීප්තිමත් වර්ණ ඉතා හොඳින් කැපී පෙනෙනවා.
Albino Congo Tetra

Albino Congo Tetra, Purple Congo Tetra, Yellow line Congo Tetra වගේ වැඩි දියුණු කල අලංකාර අලුත් ටෙට්‍රා විශේෂ දැන් වෙළඳපොලේ දකින්න පුළුවන්.

සම ප්‍රමාණයේ මසුන් වර්ග සමඟ කමියුනිටි ටෑන්ක් එකකට සුදුසු සාමකාමී මත්ස්‍ය විශේෂයක් උනත් ප්‍රමාණයෙන් කුඩා මසුන්ට හානි කරන අවස්ථා ත් තියෙනව. ඒවගේම තමා මේගොල්ලෝ හරිම ඉක්මනින් භය වෙනවා. ටැංකියේ වීදුරුවට තට්ටු කිරීම නම් කරන්නම එපා. කෑම දුන්නත් ඔයාල ටැංකිය අසලින් ඉවත් උනාම තමා මෙයා කෑම ගන්න එන්නේ.

වාසස්ථාන සහ ව්‍යාප්තිය



Phenacogrammus interruptus , එහෙමත් නැත්නම් Congo Tetra මසුන් මුලින්ම වර්ෂ 1899 දී Boulenger විසින් හඳුනා ගත් බවයි සඳහන් වෙන්නේ. අප්‍රිකාවේ Zaire ගංගා කලාපයේ ඉහල කොන්ගෝ ද්‍රෝණිය ප්‍රදේශයෙන් මොවුන් හමුවෙනවා. යාන්තම් ආම්ලික ජලයෙන් යුතු අඳුරු පරිසර සහිත අතු ගංගා , වගුරු , පොකුණු ,දිය පහරවල් තමා මෙයාලගේ වාසස්ථාන. මෙයාලගේ වාසස්ථාන හැම විටම ගස් වැල් වලින් ආවරණය උන තැන් තමයි. ඒ වගේම සෙමින් ජලය ගලා යන ස්ථාන. පතුල වැලි හෝ තද රොන්මඩ තට්ටු සහිතයි. ටිකක් ගල් තිබුන උනත් ලී කොට, අතු ඉති එහම නැති තරම්. රංචු විදියට පීනන මෙයාල ආහාර විදියට ගන්නේ පනුවෝ, ක්රස්ටේසියාවන්, කෘමින්, ශාකමය ද්‍රව්‍ය, ඇල්ගී වගේ දේවල්.

හැඳින්වීම

අනෙකුත් ටෙට්‍රාවන්ගේ ශරීර හැඩයම ඇති කොන්ගෝ ටෙට්‍රා මසුන්ට තරමක විශාල කොරපොතු පිහිටලා තියෙනවා. පිරිමි මසුන්ට හොඳින් වැඩුණු වරල් ඇති අතර පෘෂ්ටීය, ගුද සහ වල්ගා වරල් වේලයන් ආකාරයට ලෙලෙන අගිස්සකින් යුක්තයි. වල්ගා වරලේ මැද කොටස පමණක් දිගින් වැඩියි. පිරිමි මසෙකු 8.5 cm ක් පමණ ත් ගැහැණු මත්ස්‍යයෙකු 6.00 cm පමණ ත් වන උපරිම වර්ධනයක් පෙන්වනවා. ගෘහස්ත ටැංකියක නම් වසර 3-5 ක් පමණ ආයු කාලයක් ඇති බවයි සඳහන් වෙන්නේ.

 වයසින් වැඩෙන කොන්ගෝ ටෙට්‍රා වර්ණයෙනුත් අලංකාර වෙනවා. මෙයාල ඉදිරිපස සිට පසුපස දක්වා සිරුර පුරාම විහිදුන  ඉතා දීප්තිමත් වර්ණ රටාවකින් යුක්තයි. ඉහළ ම නිල පැහැයක් ගන්නා අතර ඉන්පසු ක්‍රමයෙන්  රතු, රන්වන් කහ පැහැය හා බඩට ඉහලින් නැවත නිල් පැහැය ලෙස වර්ණ රටා වෙනස් වෙනවා. වරල් අළු මිශ්‍රිත වයලට් පැහැයෙන් යුක්ත වන අතර වරල් අග සුදු පැහැතියි.

ගෘහස්ථව ඇති කිරීම


තරමක්  පණ හයිය මාලුවෙක් උනත් මසුන් පිලිබඳ අත්දැකීම් ඇති අයට ඇතිකිරීම සුදුසු බවටයි නිර්දේශය. මෙයාල ජලයේ ගුණාත්මක බවට ගොඩක් සංවේදී වීමයි එයට හේතුව. කම්මැලි නැතුව ටැංකිය නඩත්තු කරන්න ඕනේ. එහෙම නොවුනොත් වර්ණ අඩු වෙනවා වගේම පිරිමි මසුන්ගේ වරල් හොඳින් වර්ධනය වෙන්නේ නෑ . ඒ වගේම තමා මෙයාලට යාළුවො තෝරද්දී ත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ටිකක් බියගුළු මාළු විශේෂයක් වෙන මේ ගොල්ලෝ නිතරම කලහකාරී මසුන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඒ හින්දා මේ ආතතියට පත් වීම, තුවාල හා රෝග වලට ලක් වීම නිසා මරණයට පත් වෙන්න පුළුවන්.

ආහාර හා පෝෂණය


කොන්ගෝ ටෙට්‍රා කියන්නේ සර්වභක්ෂකයින්. ස්වභාවික පරිසරයේ දී නම් වැඩිපුර කෘමි වර්ග තමා කෑමට ගන්නේ. ටැංකියක හදනකොට Pallets , flakes, ජීවී ආහාර හා මාංශමය ආහාර ලබාදෙන්න පුළුවන්.දිනපතා ම හොඳ තත්වයේ Flakes ආහාර වශයෙන් ලබා දෙන එක හොඳයි. අතරින් පතර ජීවී හෝ ශීත කල (Fresh or frozen) බ්ලඩ් වෝම්ස්, බ්‍රයින් ශ්රිම්ප්ස් කෑමට දීමෙන් සමබර පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. දිනකට කිහිපවතාවක් ආහාර දෙන්න ඕනේ.

ටැංකිය නඩත්තුව

මහලොකු අමාරු කාර්යක් නොවුනත් මෙයාලගේ ටැංකි නඩත්තුව ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉහත ත් සඳහන් කරලා තියෙන විදියට මෙයාල වතුර තත්වය ට දක්වන සංවේදීතාවය එයට හේතු වෙනවා. නිතරම ගුණාත්මක  පිරිසුදු ජලය පවත්වා ගන්න ඕනේ. ටැංකි හොඳින් වසා තබන්න ඕනේ. කාබනික ද්‍රව්‍ය දිරාපත් වීම නිසා ජලයට එකතු වෙන  නයිට්රේට, ෆොස්ෆේට ප්‍රමාණය ඉහල යන්න පුළුවන් සහ වාෂ්පීකරණය හේතුවෙන් ජලයේ සාන්ද්‍රණයේ වෙනස්කම් ඇති වෙනවා. මේ තත්වය මගහැර ගන්න ක්‍රමානුකුලව වතුර මාරු කිරීම අත්‍යවශ්‍යයි. සතියක් හැර සතියක් 25%ක වතුර ප්‍රමාණයක් මාරු කිරීම සුදුසු උනත් ටැංකියේ සිටින මසුන් ප්‍රමාණය වැඩි නම් එය 50%ක් දක්වා වැඩි කිරීම සුදුසුයි.

ටැංකි සැකසුම

ගැලුන් 20ක් තරම් කුඩා ටැංකි වලත් කොන්ගෝ ටෙට්‍රා මසුන් සාර්ථක ව ඇතිකිරීම හා අභිජනනයත් සිදු වී ඇති බව පැවසෙනවා. ව්‍යාපාරික මට්ටමෙන් මෙයාල විශාල වශයෙන් අභිජනනය කෙරෙනවා. ඒ නිසාම ජල තත්වය හොඳ නම්  මෙයාල කුඩා ඉඩකට උනත් අනුවර්තනය වෙන හැකියාව ඇති බව පෙනුනත් අවම වශයෙන් 6 දෙනෙක්ගෙන් වත් යුතු රංචුවක් ලෙස ඇතිකරන්න ඕනේ නිසා අඩුම තරමේ ගැලුම් 40ක හෝ ඊට වඩා  විශාල ටැංකියක් ලබා දෙන්න ඕනේ. වැඩිහිටි මසුන් හෝ 6 ට වඩා වැඩි රංචුවක් නම් ගැලුම් 55-75 පමණ ටැංකි සුදුසු පරිදි යොදාගන්න පුළුවන්. ජලය තරමක් ආම්ලික බැවින් යුක්ත වීම, හොඳ ජල සංසරණයක් පැවතීම හා මඳ ආලෝක තත්වයක් පැවතීම මෙයාලගේ වර්ණ රටා වල වර්ධනයට හිතකරයි.

පිහිනීමට හැකි ලෙස මධ්‍යයේ හොඳින් ඉඩ ඇති ආකාරයට සැකසු ප්ලාන්ටඩ් ටැංකියක් මේ අයට ඉතා සුදුසුයි. පාවෙන පැළෑටි වර්ග යෙදීමෙන් ආලෝක තත්වය ත් පාලනය කරගන්න පුළුවන්. ඉහත සඳහන් කල විදියට මෙයාල මඳ ආලෝකය ප්‍රිය කරන්නන්. ඒ වගේම තමා අඳුරු පතුලකට කැමති නිසා තද පැහැති වැලි හෝ ග්‍රැවල් උපස්තරයක් විදියට යොදාගැනීම සුදුසුයි. පිහිනීමේ ඉඩ ඇහිරෙන්නේ නැති විදියට ලී කොට, ඇඹරුණු මුල් වගේ දේවල් උනත් යොදාගන්න පුළුවන්. ඒ වගේම වියළි  කොළ වර්ග භාවිතයෙන් ජලය යාන්තම් දුඹුරු කරගන්න පුලුවන්. හැබැයි මේ කොළ සති කිහිපයකට වරක් මාරු කරන්න ඕනේ. මේ වගේ එයාලට හුරු ස්වභාවික පරිසරයට ගැලපෙන ටැංකියක් සකස් කර දීමෙන් ගුණාත්මක වර්ණවත් කොන්ගෝ ටෙට්‍රා රංචුවක ආඩම්බරකාර හිමිකරුවෙක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.8-27.8 අතර හා PH අගය 6.0-7.5 අතර පවත්වා ගැනීම තමා හිතකර තත්ත්ව විදියට සඳහන් වෙන්නේ.

හැසිරීම් රටා


 බියසුළු හැසිරීමක් සහිත මත්ස්‍යය විශේෂයක් වන මොවුන් පෙර සඳහන් කල ආකාරයට අවම මසුන් හය දෙනෙක්වත් වන ලෙස රංචුවක් ඇතිකිරීම කල යුතුයි. මෙයාල ඉතා පහසුවෙන් බියට පත්වන නිසා එයාලගෙම තව පිරිසක් එක්ක ඉන්න එක එයාලට ශක්තියක්, පහසුවක් වෙනවා. 20ක වගේ රංචුවක් හදනවා නම් තමා හොඳම. පොඩි රංචුවක් ඇති කරනවා නම් ගැහැණු මසුන් 2-3ක් සමග පිරිමි මත්ස්‍යයෙක් හෝ සියල්ලන්ම පිරිමි මත්ස්‍යයන් ලෙස ඇති කිරීමෙන් අභිජනන සමයේ හෝ රංචුව තුල නායකත්වය සඳහා වන කලහකාරී ස්වභාවය අඩු කරගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නම් මෙයාල කමියුනිටි ටැංකි සඳහා සුදුසු සාමකාමී මසුන් උනත් ඔවුන්ට වඩා  කුඩා මසුන්ව හපන්න උත්සාහ කරනවා. මේ ලැජ්ජාශීලී කොන්ගෝ ටෙට්රා කලහකාරී මසුන් සමග නම් කොහෙත්ම ඇතිකිරීම සුදුසු නෑ. අනෙකුත් ටෙට්රා වර්ග, Rainbowfish, Corydoras, Loricariids, Synodontis සහ සමහර සාමකාමී Dwarf Cichlid වර්ග මොවුන් හා එකට ඇති කිරීමට සුදුසුම  මසුන් වර්ග වෙනවා. Rasbora , ටයිගර් බාබ් හැර අනෙකුත් බාබ් වර්ග එක්කත් ඇතිකරන්න පුළුවන්. හැබැයි ටිකක් සෙවිල්ලෙන් ඉන්න වෙනවා. අනෙක් කාරණේ තමා වරල් හපාකන මසුන් එක්ක ත් කොන්ගෝ ටෙට්‍රා මසුන් ඇතිකරන්න බෑ. මෘදු පැළෑටි වර්ග, ළපටි ශාක අංකුර වගේ දේවල් ලෑටි ගෑමේ පුරුද්දකුත් කොන්ගෝ ටෙට්රාලට තියෙනවා.

අභිජනනය

ඉතා පහසුවෙන් කොන්ගෝ ටෙට්‍රා ගැහැණු හා පිරිමි මසුන් හඳුනා ගන්න පුළුවන්. පිරිමි මත්ස්‍යයා ප්‍රමාණයෙන් ලොකු වගේම වර්ණවත් බැවින්ද වැඩියි. ඔහුගේ වල්ගා සහ පෘෂ්ටීය වරල් දිගුව වැඩෙනවා. වැඩුනු ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා ට වඩා රවුම් හැඩයක් ගන්නවා.


මෙයාල බිත්තර දමන මසුන් වර්ගයක්. කෘතීම පරිසර තත්වයන් තුල සාර්ථකව පැටවුන් ඇතිවෙලා තියෙනව.වාණිජ මට්ටමින් අභිජනන කටයුතු සිදු කරන්නේ විසිතුරු මත්ස්‍යය කර්මාන්තය සඳහාමයි. මෙයාල ගෘහස්තව අභිජනනය කිරීම තරමක් විතර අපහසු ක්‍රියාවක් .

මොවුන් අභිජනනය කිරීම සඳහා දීප්තිමත් ආලෝකය හා peat moss** මගින් ෆිල්ටර් කල ජලය ඇති ටිකක් ලොකු ටැංකියක් සපයල දෙන්න ඕනේ. මෙම ජලය මෘදු , ph අගය 6.5-6.8 අතර වන මඳ ආම්ලික හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-28 පවතින ජලය විය යුතුයි.

සජීවී පැළෑටි ගොන්නක් , ජාවා මෝස් හෝ බිත්තර දැමීම ට සුදුසු කෘතීම පැළෑටි සපයා දිය යුතුයි. ගැහැණු සත්වයා විසින් ඒ මත බිත්තර තැන්පත් කරනු ඇති. දැලක් භාවිතා කිරීමත් සාර්ථක ක්‍රමයක් වන අතර එම දැල් තුලින් බිත්තර පමණක් බේරී මවු සතුන්ට බිත්තර ඇති තැනට යා නොහැකි තරමේ සිදුරු සහිත විය යුතුයි.
කුඩා ප්‍රමාණයේ ස්පොන්ජ් ෆිල්ටර් එකක් අවශ්‍ය වෙනවා ජල සංසරණය හා පිරිසිදු කිරීම පවත්වා ගැනීමට. peat moss භාවිතය මොවුන්ගේ බිත්තර දැමීමට උත්තේජනයක් එක් කරයි.

යුගලක් ලෙස හෝ එක් ගැහැණු සත්වයෙක් සඳහා පිරිමි සතුන් දෙදෙනෙක් ලෙස වන කණ්ඩායමක් තුල වුවත් අභිජනනය සිදු කල හැකිය. සාර්ථක අභිජනන ක්‍රියාවලියක් සඳහා අභිජනනය ට පෙර ගැහැණු සහ පිරිමි මසුන් දින 14ක පමණ කාලයක්  වෙන් වශයෙන් තැබිය යුතු අතර ඒ කාලය තුල දී ඔවුන්ට මනා පෝෂණයක් ලබා දිය යුතුයි. කුඩා ජීවී ආහාර වැඩි ප්‍රමාණයක් කෑම වේල් සඳහා එකතු කිරීම යෝග්‍යයි. ඒ විදියට හොඳට කෑම දීල බලාගන්න මවු මසුන් යුගලක් හෝ කණ්ඩායම අභිජනන ටැංකියට එකතු කරන්න ඕනේ සවස් කාලයේ දී. මේ වෙනකොට ගැහැණු සතුන් ගේ  උදරයේ බිත්තර පිරීම නිසා සිරුර ලස්සන රවුම් හැඩයකින් දකින්න ලැබේවි. පිරිමි මසුන් තේරීමේ දී හොඳින් වර්ණ ඇති මසුන් තෝරාගන්න.

බිත්තර දැමීම සඳහා ටැංකියට හොඳින් ආලෝකය ලබා දෙන්න ඕනේ. බිත්තර දැමීම අභිජනන ටැංකියට දැමු වහාම , දිනයක් දෙකක් හෝ දින හයක් පමණ ගත වූ පසුත් වෙන්න  පුළුවන්. පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයා ලුහුබඳිමින් ශාක අතරින් පිහිනා යන අතර දෙදෙනාම ටැංකිය පතුලට ගිලී එකිනෙකා පැත්තෙන් පැත්ත ඇතිල්ලෙමින් සෙමින් පැද්දෙමින් සෙලවෙමින් බිත්තර දැමීම සිදු කරනවා. ගැහැණු මත්ස්‍යයා වරකදී විනිවිද පෙනෙනසුලු බිත්තර 300ක් පමණ දමන අතර ඒවා පතුලට ගිලී යනවා.

බිත්තර දමා අවසන් වූ පසු වහාම මවු සතුන් අභිජනන ටැංකියෙන් ඉවත් කිරීම මගින් ඔවුන් බිත්තර කා දැමීමට ඇති අවස්තාව නැති කරගන්න පුළුවන්. ඒත් එක්කම ටැංකියේ තිබු දීප්තිමත් ආලෝකය අඩ අඳුරු තත්වයකට පත් කරන්න ඕනේ. මේ බිත්තර ආලෝකයට සංවේදී යි. එම බිත්තර අතර සුදු පැහැති සිනිඳු බුවකින් වට වූ වැනි බිත්තර දක්නට ලැබුනා නම් වහා ම ඉවත් කරන්න ඕනේ. එසේ වන්නේ දිලීර ආසාදන හේතුවෙන්. ආසාදිත බිත්තරය ඉවත් කිරීමෙන් අනෙකුත් බිත්තර වලට දිලීර ය පැතිරීම වළක්වාගන්න පුළුවන්. සංසේචනය වූ මෙම බිත්තර දින 6-7 ක් පමණ ගත වූ විට කුඩා පැටවුන් එලියට එන අතර එලියට ආ ගමන් ඔවුන් පිහිනීමත් ආරම්භ කරනවා. අලුත උපන් මෙම පැටවුන් අලුතින් හැච් කරපු බ්‍රයින් ශ්‍රිම්ප්, Rotifers , හොඳින් කුඩු කල Flakes වගේ දේවල් කෑමට ගන්න තරමට වර්ධනය වූ පැටවුන්. ඉන්පස්සේ පෝෂණයෙන් යුතු කෑම, හොඳ පරිසරයක් ලබල දීල පැටවූ ටික ලොකු කරගන්නයි තියෙන්නේ.

** Peat moss මගින් ජලයේ Ph අගය අඩුවීම වලකන බාධක ලෙස ක්‍රියාකරන  ඛනිජ සහ බැරලෝහ  උරාගන්නා අතර ජලයෙහි PH අගය අඩුවෙන් පවත්වා ගැනීමට උපකාරී වේ. තවද එයින් නිකුත් කරන Tannic Acid මගින් ද ජලයේ ph අගය අඩුවීමට උපකාරී වන අතර එමගින් ටැංකියේ ජලය ඇමසෝන් හා අනෙකුත් වැසි වනාන්තර වල ජලය හා යම්තාක් සමාන මට්ටමකට ගෙන එනවා. ඒ වගේම ජලය ට යම් අඳුරු වර්ණයක් එකතු කරනවා. Black Water ප්‍රිය කරන ටෙට්‍රා වර්ග, සික්ලිඩ් වර්ග හා කැට් ෆිෂ් වර්ග සඳහා වඩාත්ම සුවදායි ජල තත්ත්ව ලබා දීම සඳහා මෙම ක්‍රමය ඉතා සුදුසුයි.**

ලෙඩ රෝග

කොන්ගෝ ටෙට්‍රා කියන්නේ අවශ්‍ය පරිසර සාධක හොඳින් ලබා දෙන්නේ නම්, ටැංකිය හොඳින් නඩත්තු කරනවා නම්  ලෙඩක් දුකක් නැතිව හදන්න පුළුවන් මාලුවෙක්. වතුරේ සීතල ගොඩක් වැඩි උනොතින් Ich හැදෙන එක තමා මෙයාල අතර සුලභ ව දකින්න පුළුවන් රෝගය. ටැංකියට පිටතින්  එකතු කරන මසුන්, ශාක , අලංකරණ උපාංග ඇතුළු සියලු දේ හොඳින් නිරෝධායනය ට ලක් කිරිම තුලින් බොහොමයක් ගැටළු මැඩපවත්වා ගන්න පුළුවන්.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )

©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2