අලි නහයක් තියෙන පිහි මාළුවා


Elephantnose Knifefish (Sternarchorhynchus oxyrhynchus)


එලිෆන්ට් නෝස් නයිෆ් ෆිෂ්, Sternarchorhynchus ගණයේ දැනට හඳුනාගෙන ඇති නයිෆ් ෆිෂ් විශේෂ 32 අතුරින් එකක් වන මේගොල්ලෝ දකින්න ලැබෙන්නේ නිවර්තන දේශගුණය සහිත දකුණු ඇමෙරිකානු ප්‍රදේශයේ සෙමින් ගලායන ජලය සහිත ගංගා, ඇළ දොළ සහ අතු ගංගාවන් වල යි. වෙනිසියුලාව, Guaianes සහ බ්‍රසීලයේ ඇමේසන් ගංගාව ආශ්‍රිතව මෙයාල ජීවත් වෙනවා.

මෙයාලගේ පෙනීම නම් ටිකක් දුර්වලයි. අනෙක් නයිෆ් ෆිෂ් විශේෂ වලට සාපේක්ෂව සාමකාමී මාලුවෙක්. රාත්‍රියේ ක්‍රියාකාරී වන නිශාචරයෙක්. ශාක වලින් ගහන ගංගාවල අඳුරු මඩ සහිත පතුල තමා වාසස්ථාන වෙන්නේ.පනුවන්, කුඩා ක්‍රස්ටේසියාවන්, සහ ගංගා පතුලේ මුල් අතර ඉන්නා කුඩා සත්ව වර්ග තමා ආහාර විදියට ගන්නේ.

වෙනත් විශේෂ සමග කලහකාරී නොවුනත් තම විශේෂයේ ම අයත් එක්ක නම් ටිකක් රණ්ඩු වෙනවා. මිනිස්සු වගේම තමා ඉතින් දේශ සීමා අර්බුද.

සිහින් දිගටි ශරීරය කළු පැහැයට ඉතා ආසන්න අළු වර්ණයක් ගන්නවා. සිරුරේ යටි පැත්තේ ඉදිරිපස සිට පසුපස දක්වා ම සිරුරේ සම්පුර්ණ දිගටම සරිලන ලෙස  ගුද වරල පිහිටා තියෙනවා. කරමල් වලට පිටුපසින් ශ්‍රෝණි වරල් පිහිටනවා. තවද මොවුන්ට තරමක හාස්‍යජනක පෙනුමක් ගෙනදෙන මාංශමය නාසයක් (හොඬවැල ) තියෙනව. පතුල හාරා පනුවන් වැනි ආහාර හොයාගන්න ඒ හොඬවැල එයාලට ප්‍රයෝජනවත් වෙනවා.

කොරල රහිත සමක් ඇති මෙයාලට සිය සිරුරෙන්  ඉතා කුඩා විදුලි ධාරාවක් පිටකරන්න හැකියාවක් තියෙනවා. ආහාර ඇති තැන් හඳුනාගන්න වගේම තම විශේෂයේ අයව හඳුනාගන්න එම විදුලි ධාරාව උපයෝගී කරගන්නවා. මෙම විදුලි ධාරාව නිසා මේගොල්ලෝ වෙනත් පතුලේ වසන මත්ස්‍ය වර්ග සමඟ හෝ තවත් එලිෆන්ට්නෝස් නයිෆ් ෆිෂ් කෙනෙක් එක්ක  එකට ඇතිකිරීම සුදුසු නෑ. විශේෂයෙන්ම කුඩා ඉඩක් ඇති ටැංකිවල. ඔවුන්ගේ ස්වභාවික පරිසරයට සමාන ටැංකි සැකසුමක තනිවම ඇතිකිරීම තමා වඩාත්ම සුදුසු. ඇතැම් මසුන් ඇතිකරන්නන් අනෙකුත් නයිෆ් ෆිෂ් විශේෂ සමඟ මොවුන් සාර්ථකව ඇතිකරනවා උනත් තමන්ගේ විශේෂයේ අය එක්ක නම් සාමෙන් ඉන්නේ නැති බවයි වාර්තා වෙන්නේ.

අඩුම තරමේ ගැලුන් 55ක් වත් වන පතුලට වැලි හෝ මඩ යෙදු හොඳින් ශාක වවපු (planted ) ටැංකි සැකසුමක් තමා වඩාත්ම ගැලපෙන්නේ. කිසිම විටෙක ටැංකි පතුල සඳහා ග්‍රැවල් භාවිතා නොකළ යුතුයි.රළු නොවන ගල් , කොට , ලී වගේ දේවල් යොදාගෙන හැංගෙන්න පුළුවන් පොඩි ගුහා වගේ හදල දෙන්න ඕනේ.ඒ වගේම පාවෙන පැළෑටි වර්ග යොදාගන්න එකත් හොඳයි. පාවෙන ශාක වර්ග මගින් ආලෝකය පාලනය වගේම මත්ස්‍යා ට අමතර ආරක්ෂාවක් ලැබෙනවා. නිශාචර සතුන් නිසා අඩු ආලෝක තත්වයක් තමා ප්‍රියකරන්නේ. ඒ නිසා ශාක වර්ග තෝරාගැනීමේ දී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මඳ ආලෝක තත්ත්ව යටතේ වවන්න පුළුවන් ජාවා ෆර්න්, ජාවා මෝස්, වැලිස්නේරියා සහ ඇතැම් අනුබියස් විශේෂ මේ සඳහා යොදාගන්න පුළුවන්. මේ ආකාරයට ටැංකිය සකසා දීමෙන් එයාලගේ ස්වභාවික පරිසරයට ආසන්න වශයෙන් හෝ සමාන තත්වයක් හදල දෙන්න පුළුවන්.

වැඩි ආලෝකයකට නිරාවරනය උනොත් මේ ගොල්ලන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. කෑම නොගෙන ඉන්නවා. එලිඵන්ට්නොස් නයිෆ් ෆිෂ් කියෙන්නේ ජලයේ තත්ත්ව වලට ඉතා සංවේදී මාලුවෙක්. හොඳ ෆිල්ටර් පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම සතියකට වරක් පමණ ජලය මාරු කිරීම් සිදුකර හොඳින් ටැංකිය පවත්වා ගැනීම තුලින් මාළුවා ගේ සෞඛ්‍ය තත්වය ත් හොඳින් පවත්වා ගන්න පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.7- 27.7 හා ph අගය 6.5-7.0 අතර පැවතීම තමා මෙයාලට හිතකර තත්ත්ව.

බොහොමයක් කොරපොතු රහිත මත්ස්‍ය විශේෂ වගේම මෙයාලත් ලුණු සහ ඇතැම් බෙහෙත් වර්ග වලට ගොඩක් ම සංවේදී යි. මේ දක්වා ම ස්වභාවික පරිසරයෙන් පිටත මින් මැදුරු තුල අභිජනනය සිදු වූ බවට වාර්තා වෙන්නේ නම් නෑ . අඟල් 20ක් පමණ වන උපරිම වර්ධනයක් පෙන්වන මෙයාලගේ ආයු කාලය වසර 8-12ක් පමණ වෙනවා.

මාංශ භක්ෂක මෙයාල කෑමට නම් ටිකක් කලබලයි. ජීවී ටියුබිෆ්ලෙක්ස් වලට වැඩි ප්‍රියතාවයක් දැක්වුවත් බ්ලඩ් වෝර්ම්ස්, කුඩා හෝ කැපු අර්ත් වෝර්ම්ස් ( ගැඩවිලන් ) , ජීවී බ්‍රයින් ශ්‍රිම්ප්ස් වැනි දේවල් ආහාර විදියට දෙන්න පුළුවන්. සමහරවිට ශීත කල (Frozen) කල ආහාර වලට හුරු කල හැකි නමුත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නම් ජීවී ආහාර ලබා දෙන්න ඕනේ. මෙයාලා නිශාචර සත්තු නිසා රාත්‍රී කාලයේ ටැංකියේ විදුලි බුබුළු නිවන වෙලාවට කෑම දෙන එක සුදුසුයි.

එලිෆන්ට්නෝස් නයිෆ් ෆිශ්ල විසිතුරු මසුන් ක්ෂේත්‍රයේ ටිකක් දුර්ලභ උනත් කලාතුරකින් මින් මැදුරු වල දකින්න පුළුවන්. මසුන් ඇතිකරලා අත්දැකීම් තියෙන අය මෙයාලා ඇතිකිරීම සුදුසු බවටයි නිර්දේශය.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
©janakiecjoseph


Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2