අපූරු ෆයර්වුඩ් කැට්ෆිෂ් මසුන් ගැන දැනගනිමු.


Firewood Catfish (Sorubimichthys planiceps)


ෆයර්වුඩ් කැට් ෆිෂ් කියන්නේ දකුණු ඇමෙරිකානු කලාපය නිජබිම කරගත්ත Pimelodidae (දිගු රැවුල් සහිත කැට් ෆිෂ්මසුන් ) ගණයට අයත්  මත්ස්‍යයෙක්. වර්ෂ 1829 දී Spix සහ Agassiz විසින් හඳුනාගන්නා ලද බවයි සඳහන් වෙන්නේ. ස්වදේශිකයන්ගේ බසින් ෆයර්වුඩ් කැට්ෆිෂ් ඇතුළු Pimelodids පවුලේ මසුන් වර්ග කිහිපයක් සඳහාම භාවිතා වන Sorbim යන වදනට මාළු යන තේරුම ඇති ග්‍රීක වචනයක් වන ichthys එකතු වී Sorubimichthys යන නම සෑදී තිබෙනවා. පැතලි හිස යන අරුතින් planiceps කියන කොටස එකතු වෙලා Sorubimichthys Planiceps කියන නම ලැබිල තියෙනවා.ඇමසෝන් සහ ඔරිනොකෝ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව මොවුන් හමුවෙනවා. මෙයාලට ෆයර්වුඩ් (දර) කැට් ෆිෂ් කියන නම ලැබෙන්නත් හේතුවක් තියෙනව. ආහාරමය වටිනාකම අවම මේ මසුන් වැඩියෙන්ම භාවිතා කරලා තියෙන්නේ දර සඳහා වීම එයට හේතුවෙලා තියෙනවා. හොඳින් වේලා ගත් මසුන් තමා මේ විදියට දර වෙනුවට භාවිත කරල තියෙන්නේ. විවිධ භාෂා වලින්  මෙයාල ට විවිධ නම් භාවිතා වෙනවා.

*      Acha cubo                           Peruvian
*      Cabo de hacha                  Colombian
*      Doncella                               Venezuelan
*      Peixe lenha                        Brazilian
*      Spatelwels                          German

රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මොවුන් විලෝපික මසුන් වන අතර ජලයේ ඉන්නා වෙනත් ජීවීන් ගොදුරු කරගන්නවා. රොන්මඩ පිරුණු පතුලක් සහිත පැහැදිලි ජලයෙන් යුතු පරිසර තත්ත්ව තමා ප්‍රියකරන්නේ.
මෙයාලගේ පෙනුම වර්ධනයත් එක්ක වෙනස් වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම සිලින්ඩරාකාර ශරීරයක් ඇති මෙයාලගේ හිස පැතලියි. ලොකු දිග වල්ගා වරලක් තියෙනවා. උඩු හනුව යටි හනුවට වඩා විශාල වන අතර වැඩුණු මසුන්ගේ එය මත්ස්‍යයාගේ හොම්බේ දිගින් 1/3ක ප්‍රමාණයක් පමණ වෙනවා. ශරීරයේ මතුපිට පෘෂ්ටය අළු පැහැයක් වන අතර තද පැහැති ලප පිහිටා තිබෙනවා. සිරුර දෙපසින් කරමල් ආවරණයේ සිට වල්ගා වරල දක්වා සුදු පැහැති තීරුවක් පිහිටන අතර ඇතැම්විට එම තීරුවට බෝඩරයක් ආකාරයෙන් තද අළු/දුඹුරු පැහැති තවත් තීරුවක් දකින්න පුළුවන්. බඩ පෙදෙස සුදු පැහැයක් ගන්නා අතර එහි ද තද පැහැති ලොකු ලප පිහිටනවා.පෘෂ්ටීය වරල සහ **adipose වරල (පෘෂ්ටීය වරලට වහා පසුපසින් වල්ගා වරල දෙසට පිහිටන මාංශමය වරල ) ලප සහිතයි. පැටවුන්ගේ හොම්බ කෙටි වන අතර ළය වරල් ප්‍රමාණයෙන් ලොකුයි. රවුම් ස්වභාවයක් ගන්නවා. ඒවගේම තමා පැටවූ කාලේ දී සිරුරේ සුදු පැහැති වර්ණ තීරුව පිහිටන්නේ ත් නෑ. මෙයාලගේ නියම හැඩ ස්වභාවය දකින්න නම් අඩුම අඟල් 8ක් (සෙන්ටි මීටර 20ක් ) වත් ලොකු වෙන්න ඕනේ.
පැටවුන්ගේ වරල් පිහිටීම 

** adipose වරල - මෙය බොහොමයක් මත්ස්‍යය විශේෂ වල නොපිහිටන අතර Percopsiformes, Myctophiformes, Aulopiformes, Stomiiformes, Salmoniformes, Osmeriformes, Characiformes, Siluriformes සහ Argentiniformes යන ගණ 9 හි මෙම ලක්ෂණය පිහිටා ඇත. Salmon, Characid හා  කැට් ෆිෂ් අයත් වෙන Siluriformes ගණ ඒ අතරින් ප්‍රසිද්ධ යි. කොහොම උනත් ඒ වරලෙන් සිදු වන නිශ්චිත කාර්යයක් නම් හඳුනාගෙන නැති බවයි සඳහන් වෙන්නේ.**

කුඩා පැටවුන් කාලයේ සිට ඇතිකරන්න පුළුවන් උනත් මෙයාලට ලොකු වෙනකොට අවශ්‍ය ඉඩ ලබාදෙන්න හැකියාවක් තිබීම අත්‍යවශ්‍යයි. උපරිම අඩි 5ක් (මීටර් 1.5 ) විතර ලොකු වෙන නිසා ලොකු ටැංකියක් හෝ හොඳ පෙරහන් පද්ධතියක් සහිත පොකුණක්  අවශ්‍යයි. මෙයාලගේ ටැංකිය විශාල වගේම හොඳින් වහන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතා ඉක්මනින් භයට/කලබලයට පත් වෙන මෙයාල ටැංකියෙන් පනින්න උත්සාහ කරනවා. ඒ නිසා ටැංකියේ පියන හෝ වහලය හොඳ සවිමත් එකක් වෙන්නම ඕනේ. ටැංකිය අලංකරණය කිරීමේ දී පතුලට වැලි යොදාගන්න පුළුවන්. ඒ වගේම ලී, කොට ගල් වැනි දේ යොදාගෙන හැංගෙන්න පුළුවන් තැන් නිර්මාණය කරන්න ඕනේ. ඒ මගින් මත්ස්‍යයාට  ට වටාපිටාවෙන් තමා ආරක්ෂාකාරී බවට හැගීමක් ඇති කෙරෙනවා. එයින් ආතතිය අඩු වෙනවා. ෆයර්වුඩ් කැට් ෆිෂ් කියන්නේ අඩු ආලෝක තත්ත්ව ප්‍රිය කරන මාළුවෙක්. ඒ ගැන සැලකිලිමත් වෙන අතර පැහැදිලි ජලය ප්‍රිය කරන මෙයාලට හොඳ පෙරහන් පද්ධතියකුත් ලබා දෙන්න ඕනේ. තනිව ඇතිකිරීම වඩාත් සුදුසු වන අතර තවත් මසුන් එකතු කරන්නේ නම් මෙයාලට ගිලින්න බැරි තරමේ මසුන් එකතු කිරීමට සැලකිලිමත් වෙන්න. South American Antenna catfish ලෙස හඳුන්වන දිගු රැවුල් සහිත කැට් ෆිෂ් විශේෂ අයත් Pimelodidae සහ Thorny Catfish නොහොත් Doradidae පවුලේ මසුන් මොවුන් හා ඇතිකිරීම සුදුසුයි.


විලෝපික මත්ස්‍යයෙක් වන මෙයාලට ශීත කල , ජීවී හෝ අමු (Frozen, live or fresh) මාංශමය ආහාර දෙන්න පුළුවන්. දිනකට දෙවරක් හෝ එක්වරක් ආහාර ලබාදීම ප්‍රමාණවත්.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-28 හා ph අගය 6.0-7.6 අතර පැවතීම හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙනවා.

මෙයාලගේ අභිජනනය සම්බන්ධයෙන් නම් විස්තර සඳහන් වෙන්නේ නැති උනත් වැසි කාලයේ දී කුඩා පැටවුන් හමුවන බව පැවසෙනවා.

මුල් කාලයේ දී “අනතුරට ලක්විය හැකි “ සත්ව විශේෂයක් ලෙස සැලකුණු මොවුන් මේ වන විට “විනාශයට පත්වෙමින් ඇති’ සත්ව විශේෂයක් ලෙස නම් කරලා තියෙනවා. විසිතුරු මසුන් කර්මාන්තය තුල මොවුන්ට ලැබුන වානිජමය වටිනාකම නිසා ඉවක් බවක් නැතිව මසුන් ඇල්ලීම, නාගරීකරණය, මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම වැනි කාරනා ඒ සඳහා බලපාල තියෙනවා. කොලොම්බියානු නීතියට අනුව සෙන්ටි මීටර 95 ට වඩා අඩු මසුන් ඇල්ලීම තහනම් උනත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ම නැති තරම් වීම හරිම කනගාටුදායකයි. මේ අනුව කොලොම්බියාවේ සිට කෙරෙන ආනයන නීති විරෝධී ඒවා.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
©janakiecjoseph


Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2