අලංකාර ෆ්ලවර්හෝන් මසුන් ගැන දැනගනිමු.



ෆ්ලවර්හෝන් සික්ලිඩ් කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අපූරු දෙමුහුන් මත්ස්‍ය විශේෂයක්. වර්ෂ 1990 මැද භාගයේ දී මලයාසියාවෙන් වගේම එම වසරේ ම අග භාගයේ දී තායිවානයෙන් තමා මෙයාල මුලින්ම වාර්තා වෙන්නේ. මෙයාලගේ ආංශික රේඛාව (Latteral Line) දිගට ඇති මල් මෝස්තරයක් වගේ තියෙන තද පැහැති ලප සහ වැඩුණු මසුන්ගේ හිසෙහි අඟක් මෙන් දිස්වන මොල්ලිය නිසා මෙයාලට ෆ්ලවර්හෝන් කියන නම ලැබිලා තියෙනවා. මලයාසියානුවන් මෙයාල හඳුන්වන්නේ Warships කියන නමින්. Hua Lao Han සික්ලිඩ් කියලා හඳුන්වන්නේ ත් මෙයාල ම තමා.

Trimaculatus සහ දකුණු හා මධ්‍යම ඇමෙරිකානු සික්ලිඩ් මසුන් මිශ්‍ර කිරීමෙන් පළමු ෆ්ලවර්හෝන් මත්සයන් බිහිකර ඇති බවට සඳහන් වෙනවා. ෆ්ලවර්හෝන් මසුන්ගේ සහ ට්‍රයිමැක් සික්ලිඩ් මසුන් අතර ඇති ඇතැම්  සමානතා වලින් ඒ බව තහවුරු වෙනවා. පසු කාලීනව විවිධ සික්ලිඩ් වර්ග මිශ්‍ර කර ඇති වූ විශේෂ සඳහාත් ෆ්ලවර්හොන් යන නම භාවිතා කරන්න පුරුදු උනත් ඇතැම් විශේෂ වල නම සඳහා මුල් වූ සිරුරේ මල් මෝස්‌තර රටාව වත් දකින්න නම් නෑ .

Trimac Cichlid 

මෙයාලගේ මොල්ලිය හැදිලා තියෙන්නේ මේදය තැන්පත් වීමෙන්. ඔයාලගේ ෆ්ලවර්හෝන් ට ටික කාලයක් කෑම දෙන්න බැරි උනොත් එයාලගේ මොල්ලිය අඩු වෙලා තියෙනවා දකින්න පුළුවන්. නැවත පුරුදු විදියට කෑම දෙන්න පටන් ගත්තම කලින් වගේම මොල්ලිය හැදෙනවා. හරියට අර කාන්තාරයේ යනවිට ඔටුවන් මොල්ලියේ ආහාර ගබඩා කරගන්නවා වගේ.

හොඳ ෆ්ලවර්හෝන් මත්ස්‍යයෙක් ටිකක් මිලෙන් අධිකයි. කෝයි මසුන් වගේම කුඩා කාලයේ දීම තෝරාගත් මසුන් තමා හොඳම ෆ්ලවර්හෝන් මසුන් විදියට හදන්නේ. මසුන් දහසකින් එකක් වගේ තමා ඒ වගේ නියම ෆ්ලවර්හෝන් මසෙක් විදියට තේරෙන්නේ. පැටවුන් බිහි උනාට පස්සේ අඟලක් පමණ කාලේ දී එයින් හොඳම මසුන් 10%ක පමණ ප්‍රමාණයක් තෝරාගන්නා අතර නැවතත් අඟල් දෙකක් පමණ ලොකු උනාම එයිනුත් 10%ක් තෝරාගන්නවා. අවසානයේ අඟල් තුනක් පමණ වර්ධනය වූ පසු එයිනුත් හොඳම 10% තෝරාගෙන තමා වෙළඳපොළට නිකුත් කරන්නේ. මෙසේ තෝරාගත් මසුන්ගෙන් මවු මසුන් සඳහා තෝරාගන්නේ ඉතා අඩු ජෛව විවිධත්වයක් ඇති අලුත් පරම්පරාවක් ලබා ගැනීමේ බලා පොරොත්තුවෙන් උනත් ඒ වගේ මවු මසුන්ගේනුත් ඔවුන්ට සමාන ලක්ෂණ ඇති පැටවුන් බොහොම සුළු ප්‍රමාණයක් තමා ලැබෙන්නේ.


මෙයාලගේ මිල අධික කම නිසාම ගොඩක් අය රෙඩ් ඩෙවිල් + ට්‍රයිමැක් , හෝ වෙනත් තෝරාගත් සික්ලිඩ් විශේෂ යොදාගෙන දෙමුහුන් මසුන් ඇතිකරන්න උත්සාහ කරත් ඒ නියම ෆ්ලවර්හෝන් මසුන් නම් නෙමේ. වාණිජමය වාසි බලාගෙන මේ වගේ ගොඩක් දෙනා ෆ්ලවර්හෝන් කියල විකිණුව ට නියම ෆ්ලවර් හෝන් මසුන් මිල අධික වෙන්නේ මන් ඉහත සඳහන් කල තෝරා ගන්නා විශේෂිත මසුන් නිසාමයි.

චීන ෆෙන්ග් ෂුයි ශාස්ත්‍රයට අනුව ෆ්ලවර්හෝන් මසුන් සැලකෙන්නේ වාසනාව ලඟා කරන මත්ස්‍යයෙක් විදියට. ඒ නිසා ආසියාවේ මෙයාලට හොඳ ඉල්ලුමක් තියෙනවා. චීන විස්වාසයක් තියෙනවා ලොකු මොල්ලිය සහිත මසුන්ගෙන් හිමිකරුට දිර්ගායුෂ ලැබෙනවා කියල. වර්තමානය වනවිට විශේෂිත රටා සහිත ෆ්ලවර්හෝන් මසුන් නිර්මාණය කර ඇති අතර චීන අකුරු රටා, රෝස පැහැති හදවත් හැඩයේ වර්ණ රටා සහිත මසුන් ඩොලර් දහස් ගණනකට විකිනෙනවා. කොහොම උනත් ආසියාවේ හැර යුරෝපයේ  වගේම ඇමෙරිකානු රටවලත් ජනප්‍රිය මෙයාල ඕස්ට්‍රේලියාවේ තහනම් බවටයි අන්තර්ජාලයේ සඳහන්.

ෆ්ලවර්හෝන් මසුන් තෝරාගැනීමේ දී අඟල් 3ට අඩු මසුන් මවු සතුන්ගේ වර්ණරටා වලට සමානකම් පෙන්වනවා නම් ඔවුන් වර්ණ එන්නත්කරණයට ලක් වූ මසුන්. වර්ධනයත් එක්ක ඒ පාට නැතිවෙලා යනවා.අඟල් තුනට වඩා කුඩා මසුන්ගේ එවන් වර්ණ දකින්න නොලැබෙන අතර වැඩුනාට පසු  ඔවුන්ගේ පෙනුම ගැන අනුමාන කරන්න බෑ.

ශරීර ලක්ෂණ

ෆ්ලවර්හෝන් කියන්නේ මසුන් ඇති කරන අය බොහොම ප්‍රියකරන මත්ස්‍යයෙක්. දීප්තිමත් වර්ණ වගේම හොඳින් හිලෑ වෙන මාළුවෙක් වීම තමා ඒකට හේතුව. සිරුර හැඩයෙන් ඕවලාකාරයි.අඟල් 12-16  ක පමණ උපරිම වර්ධනයක් පෙන්වනවා. වර්ණවත් කොරපොතු වලින් අපුරු රටා නිර්මාණය වෙලා තියෙනව. වර්ණ පරාසය නිල් හෝ මෙටලික් කොළ අතර වන අතර සිරුරේ ඉදිරි පෙදෙස රතු හෝ රෝස පැහැයෙන් යුක්තයි. පෘෂ්ටීය සහ ගුද වරල් දිගු සහ උල් හැඩයකින් යුක්තයි. වල්ගා වරල රවුම් ස්වභාවයක් ගන්නවා. අනෙකුත් සික්ලිඩ් වර්ග වලට වගේම මොවුන්ගේ ද දත් පිහිටලා තියෙනවා ඒ වගේම සාමාන්‍ය දත් ඇඳි වලට අමතරව මොවුන්ගේ උගුරේ හොඳින් වැඩුණු Pharyngeal දත් ඇන්දක් පිහිටනවා. මෙය wrasses, parrot fish වැනි කරදිය වසන සික්ලිඩ් මසුන් වර්ග ඇතුළුව සියලුම සික්ලිඩ් මසුන් ගේ දැකිය හැකි පොදු ලක්ෂණයක්. මිට කලින් පල උන ගෝල්ඩන් සෙවරම් ගැන ලිපියේත් මේ ගැන සඳහන් උනා. ඒ වගේම ෆ්ලවර්හෝන් ලට හිස දෙපසේ එක පැත්තක එක බැගින් වූ නාස් විවර පිහිටා තියෙනව. උපරිම ආයු කාලය වසර 8-10ක් පමණ.


මෙයාල පොඩි කාලේ ඉඳල ලොකු වෙනකල් මෙයාලගේ වර්ණ රටා වෙනස් වීම විශේෂිත ලක්ෂණයක්. පොඩි කාලේ ගේනකොට තියෙන රටා නෙමේ හොඳින් වැඩුන මසෙකුගේ තියෙන්නේ. පැටවුන් මිලෙන් අඩු උනත් වර්ණ රටා ගැන සැලකිලිමත් වෙන කෙනක් නම් හොඳින් වැඩුණු මසෙකු තෝරා ගැනීම තමා හොඳ.

ෆ්ලවර්හෝන් මත්ස්‍යයෙකු මිලදී ගැනීමේ දී ඔවුන්ගේ ශරීරයේ හැඩය, පර්ල් ස්කේල් , හොඳින් වැඩුණු මොල්ලිය , සිරුරේ තිරස් අතට විහිදුනු තද පැහැති වර්ණ රටාව, සෘජු වරල් හා වල්ගය වගේම තියුණු ඇස් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රටේ දී ආනයනික හොඳ ෆ්ලවර්හෝන් මාලුවෙක් ශරීර ප්‍රමාණය අනුව රු.8000 සේ සිට මිලදී ගන්න පුළුවන්.


ටැංකි සැකසීම

ෆ්ලවර්හෝන් කියන්නේ පහසුවෙන් බලාගන්න පුළුවන් අපේ බාසාවෙන් කිව්වොත් පණ හයිය මාලුවෙක්. අඟල් 12-16 අතර ප්‍රමානෙකට ලොකු වෙන මෙයාලට අඩුම තරමේ ගැලුන් 55ක වත් ටැංකියක් සුදුසුයි. වෙනත් මසුන් එක්ක ඇතිකරනවා නම් ඊට වඩා විශාල ටැංකියක් ලබා දෙන්න ඕනේ. හැබැයි මෙයා ලොකු වෙනකොට නම් හරිම දරුණුයි ඒ නිසා ලොකු වෙනකොට නම් වෙනත් මසුන් එකතු කරොත් පහර දෙනවා. එහෙම උනොත් නම් අයිතිකාරයාට උනත් පහර දෙන්න පෙළඹෙනවා ලු. ඒ නිසා තනිවම ඇති කිරීම තමා සුදුසු.මෙයා නිතරම පිහිනමින් ඉන්න මාලුවෙක් ඒ වගේම ග්‍රැවල්, ගල් අස්සේ හාරන්න , රිංගන්න , හැංගෙන්න කැමතියි. මෙයාගේ මේ හාරන පුරුද්ද නිසා ගල් වගේ දේවල් යොදාගෙන ටැංකිය සකසනවා නම් ඒවා හොඳින් සකස් කරන්න ඕනේ කඩා වැටිලා මාළුවට හානියක් නොවන විදියට. හොඳ පිහිනුම් අවකාශයක් ඇතුව සකස් කල ටැංකියක මෙයාල සතුටින් ඉන්නව.


ඝර්ම කලාපිය මාලුවෙක් වෙන මෙයාට සෙල්සියස් අංශක 25-29 අතර උෂ්ණත්වය හා ph අගය 6.0-7.5 අතර තමා හිතකර තත්ත්ව. කලින් කිව්වා වගේ මෙයා පන හයිය මාලුවෙක් උනත් ටැංකිය පිරිසිදුව පවත්වා ගැනීම වැදගත්. හොඳ ෆිල්ටර් පද්දතියක් භාවිත කරන්න. ඒ වගේම කෑම දුන්නට පස්සේ ඉතුරු කෑම ඉවත් කරන්න. සති දෙකකට වරක් වත් ග්‍රැවල්  පිරිසිදු කරන්න. ඇල්ගී පාලනය කරන්න. මේ වගේ හොඳින් ටැංකිය නඩත්තු කිරීමෙන් ඔබේ වටිනා මාළුවා සෞඛ්‍ය සම්පන්නව දිගු කලක් ජිවත් වෙයි.

ආහාර

මාංශ භාක්ෂකයෙක්. ඒ වගේම කෑදරයි. සික්ලිඩ් මසුන් සඳහා වන pellets වර්ග, පණුවන් වර්ග, ඉස්සෝ, මාළු , වගේ කෑම ට දෙන්න පුළුවන්. අලුත්, වියලි වගේම ශීත කල කෑම ට හුරු වෙනවා. ලඟට ඇවිල්ලා කෑම කන්න පුරුදු වෙනවා. විවිධත්වයෙන් යුතු ආහාර වගේම විටමින්, පෝෂණ අතිරේක වැනි දේ ලබා දීමෙන් ඔවුන්ගේ වර්ණ වැඩි කරගන්න පුලුවන්. දිනකට දෙවරක් හෝ තුන්වරක් කෑම ලබා දීම සුදුසු අතර ජලයේ ගුණාත්මක බව පවත්වා ගන්න ඉතිරි කෑම ඉවත් කරන්න නම් ඕනේ.

අභිජනනය

වැඩුනු ගැහැණු සහ පිරිමි මසුන් සමාන ලෙස පෙනුනත් පිරිමි මසුන්ගේ මොල්ලිය ප්‍රමාණයෙන් ලොකුයි වගේම වර්ණ ඉතා දීප්තිමත්. ඒ වගේම ගැහැණු මත්ස්‍යා ට වඩා මඳක් ලොකුයි. ගැහැණු මත්ස්‍යා ගේ පෘෂ්ටීය වරල් වල කළු පැහැති ලප දකින්න පුළුවන්. ඒ වගේම ලිංගිකව පරිණත වූ ගැහැණු මසුන්ගේ බඩ තැඹිලි පැහැයක් ගන්නවා. පිරිමි සතුන්ගේ පෘෂ්ටීය හා ගුද වරල් ගැහැණු සතුන්ට සාපේක්ෂව දිගින් වැඩියි.


දෙමුහුන් මසුන් උනාට මෙයාල සරු සත්වයින් . ඒ කියන්නේ අභිජනනය කරන්න පුළුවන්. හොඳින් පෝෂණය හා ජලයේ තත්ත්ව පවත්වාගන්නේ නම් පහසුවෙන් බෝ වෙනවා. හැබැයි මවු සත්තු උනත් එකම ටැංකියේ නම් හදන්න බෑ. මුලින්ම ඔවුන්ව විනිවිද පෙනෙන සුළු විදියට වෙන්කරලා හදන්න ඕනේ. ඒ විදියට එයාල අඳුනා ගත්තට පස්සෙයි එක ටැංකියකට දාන්න ඕනේ. එහෙම ටැංකියකට දාන්න කලින් ගැහැණු සත්වයාට සැඟවෙන්න හැකි විදියට ටැංකිය සකස් කරන්න ඕනේ. ඒ වගේම බිත්තර දාන්න සුදුසු පැතලි ගලක් හෝ සුදුසු මතුපිටක් සපයල දෙන්න ඕනේ. පිරිමි සත්වයා ගොඩක් කලහකාරී උනොත් ටැංකිය බෙදා දෙදෙනා වෙන් කිරීම කරන්න ඕනේ. ගැහැණු සතා ට පිරිමි සතාගේ සහයකින් තොරව බිත්තර දැමීම සිදු කරන්න පුළුවන්.බිත්තර දැමුවා ට පසු ඒවා පිරිමි සත්වයා ගේ කොටසින් තියන්න ඕනේ (දෙන්න වෙන් කරලා නම් , නැතිනම් ගැටළුවක් නෑ ) එවිට පිරිමි සතා විසින් ඒවා සංසේචනය කරනවා.

මව පියා දෙදෙනාම බිත්තර ආරක්ෂා කරනවා. ඇතැම් විට පියා මවටත් වඩා හිමිකාරිත්වය දරමින් ඇයව පලවා හරින්න ඉඩ තිබෙනවා. එහෙම කලහකාරී උනොත් නැවත මව් මත්ස්‍යා ඉවත් කරන්න ඕනේ . නැත්නම් පහර දීමෙන් මරණයට පත් වෙන්න උනත් පුළුවන්. පැටවුන් එලියට ආවම එයාල මවුපිය ආරක්ෂාවෙන් තොරව ස්වාදීනව ජිවත් වෙන්ව. අලුත උපන් පැටවුන්ට බ්‍රයින් ශ්‍රිම්ප්ස් කෑමට දෙන්න පුළුවන්. සති දෙකකට පමණ පසු කුඩු කල pellets හෝ flakes කෑමට දෙන්න පුළුවන්.

ලෙඩ රෝග

ෆ්ලවර්හෝන් කියන්නේ ඉතාමත් සැලකිල්ලෙන් යුතුව අභිජනනය කරන මාළු විශේෂයක්. එයාලගේ පරම්පරා වෙනස් වෙන්න නොදී අතිශය පරික්ෂාකාරී ව කෙරෙන මේ ක්‍රියාවලිය නිසා අනෙකුත් දෙමුහුන් මසුන්ට වගේ මෙයාලට ලෙඩ රෝග වල වැළඳෙන්නේ නෑ. කොහොම උනත් ජලයේ ගුණාත්මක බව හොඳින් පවත්වා ගැනීම, පෝෂ්‍යදායි ආහාර ලබාදීම හා හොඳ පරිසරයක් සකස් කර දීමෙන් සත්වයා සෞඛය සම්පන්නව දිගු කලක් ජිවත් කරන්න පුළුවන්.

ජනප්‍රිය ෆ්ලවර්හෝන් විශේෂ කිහිපයක්

Golden Monkey

Kamalau එහෙමත් නැත්නම් Good Fortune කියලත් හඳුන්වනවා. මලයාසියාවේ බෝ කරන මෙයාල ටිකක් මිල අධිකයි.



 Kamfa



Zhen Zhu or pearl flowerhorn



Golden base (faders)



 ( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)
©janakiecjoseph




Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2