හැඩකාර පීකොක් බාස් මසුන් ගැන දැනගනිමු.




Peacock Bass ( Cichla ocellaris )

පීකොක් බාස් , එහෙමත් නැත්නම් සික්ලා ඔසෙලාරිස් කියන්නේ ටිකක් ලොකු මින් මැදුරකට ගැලපෙන ආකර්ශනීය මත්ස්‍යයෙක්. මෙයාගේ විශාලත්වය හා ශරීර හැඩය නිසා බොහෝ දෙනෙක් බාස් වර්ගයක් ලෙස වරදවා හඳුනාගන්නා නමුත් මෙයාල ඇත්තටම සික්ලිඩ් වර්ගයක්. වල්ගා වරලේ ඇති ඇහැක් වැනි මෝස්තරය නිසා තමා මෙයාලට ocellaris කියන නම ලැබිල තියෙන්නේ. පීකොක් සික්ලිඩ්, බටර්ෆ්ලයි පීකොක් බාස්, පීකොක් බාස් සහ අයි ස්පොට් සික්ලිඩ් කියන නම් වලින් හඳුන්වන්නෙත් මෙයාලම තමයි.


දකුණු ඇමෙරිකාව නිජබිම කරගත්ත මෙයාලව හඳුනා ගෙන තියෙන්නේ වර්ෂ 1801 දී Bloch සහ Scneider විසින්. කොලොම්බියාව , වෙනිසියුලාව, ගයානා , Suriname , ප්‍රංශ ගියානාව හා බ්‍රසීලයේ විශාල ජලවහන පද්ධති තමා මෙයාලගේ ස්වභාවික වාසස්ථාන. ඒ හැරුනම සිංගප්පුරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හමුවන පීකොක් බාස් මසුන් පසු කාලීනව ඒ රටවලට හඳුන්වා දුන් මසුන් .  මෙයාල ආහාර අවශ්‍යතා සඳහා වගේම විනෝදයට මසුන් ඇල්ලීම සඳහාත් විවිධ රටවලට හඳුන්වා දී තිබෙනවා.

මෙයාල ස්වභාවික පරිසරයේ දී වේගයෙන් ගලා යන ජලයේ වගේම තරමක ගැඹුරින් යුතු නිශ්චල ජලයෙන් යුතු , ගල් සහිත පතුලක් ඇති පරිසර වලද රංචු හදාගන්නවා. විශේෂයෙන්ම මෙයාලට ආහාරයට ගන්න හැකි Threadfin shad, mosquito fish, tilapia සහ bluegill වැනි මසුන් ගැවසෙන තැන් වාසස්ථාන කරගන්න ව.

ස්වභාවය

ඕවල් හැඩයෙන් යුතු දිගටි සිරුරක් හිමියි. අඟල් 30 ක් පමණ හා බර කිලෝ ග්රෑම් 4.5 ක් පමණ දක්වා විශාලව වැඩෙනවා. වැඩුණු පිරිමි මසුන්ගේ හිසෙහි ඉදිරිපස මොල්ලියක් තියෙනවා. මෙයාලගේ ලොකු කට හා හනු නිසා ම මෙයාලා බාස් මසුන් ලෙස වැරදියට හඳුනාගන්න අවස්ථා බහුලයි. ආයු කාලය අවුරුදු 8-10 අතර ලෙස සැලකුනත් හොඳින් බලාගන්නවා නම් ඊට වඩා කාලයක් ජිවත් වෙන්න ඉඩ තියෙනවා.


ඔලිව් කොළ පැහැති සිරුර බඳ දෙසට වනවිට කහ සුදු මිශ්‍ර වර්ණ දක්වා පැහැය වෙනස් වෙනවා. පාර්ශ්විකව කළු පැහැති පටි තුනක් දිස්වන අතර අතරින් පතර තද පැහැති ලප පිහිටනවා. පෘෂ්ටීය වරලේ දෙවන කොටසේ සුදු ලප දකින්න පුළුවන්. වල්ගා වරල ඉහල කෙලවරේ ත් එවැනිම ලප දකින්න පුළුවන්. ගුද හා ශ්‍රෝණි වරල් සහ වල්ගා වරලේ පහල කෙලවර රතු පැහැයක් ගන්නා අතර අනෙකුත් වරල් අළු හෝ කළු පැහැතියි.
මෙයාලගේ දකින්න තියෙන විශේෂම ලක්ෂණය තමා වල්ගයේ ඇහැක් ආකාරයට පිහිටි විශාල ලකුණ. Ocellus ලෙස හඳුන්වන්නේ ඒ සලකුණ තමා. වැඩුණු මසුන්ගේ මුඛයේ සිට වල්ගය දක්වා විහිදෙන කහ තැඹිලි වර්ණ තීරු දකින්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ තද රතු පැහැ අක්ෂි තාරා මණ්ඩලයත් ආකර්ශනීය පෙනුමට හේතු වෙනවා.


අනෙකුත් සික්ලිඩ් වර්ග වලට වගේම මොවුන්ගේ ද දත් පිහිටලා තියෙනවා ඒ වගේම සාමාන්‍ය දත් ඇඳි වලට අමතරව මොවුන්ගේ උගුරේ හොඳින් වැඩුණු Pharyngeal දත් ඇන්දක් පිහිටනවා. මෙය wrasses, parrot fish වැනි කරදිය වසන සික්ලිඩ් මසුන් වර්ග ඇතුළුව සියලුම සික්ලිඩ් මසුන් ගේ දැකිය හැකි පොදු ලක්ෂණයක්. මිට කලින් පල උන ගෝල්ඩන් සෙවරම් සහ ෆ්ලවර්හෝන් මසුන්  ගැන ලිපිවල මේ ගැන සඳහන් උනා. ගුද, පෘෂ්ටීය , ළය සහ ශ්‍රෝණි වරල් වල පිටුපස කොටස කටු ස්වභාවයකින් පිහිටල තියෙනවා. මේ වරල් වල ඉදිරි කොටස් පහසුවෙන් චලනය කර හොඳින් පිහිනා යා හැකි පරිදි මෘදු ගතියෙන් යුතුයි. එක පසක එක බැගින් වූ නාස් විවර දෙකක් පිහිටා ඇති අතර ඒ මගින් ජලය උරාගෙන ගඳ/සුවඳ දැනීමෙන් පසු ඉවත් කරනවා. මේ ලක්ෂණය සික්ලිඩ් ලාගේ කරදිය නෑයෝ වෙන damsel මසුන්ගේ ත් දකින්න පුළුවන්.



ඇතිකිරීම හා ටැංකි සකස් කිරීම

පීකොක් බාස් කියන්නේ ආසාව තිබුනාටම හදන්න සුදුසු මාලුවෙක් නෙමේ. එයාලට හොඳට ඉඩ තියෙන ටැංකියක් වගේම ජලයේ ගුණාත්මක බාවය පවත්වා ගැනීම ත් බොහොම වැදගත් . ඒ නිසා මෙයාල වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඇමෝනියා සහ නයිට්‍රේට සාන්ද්‍රණයට බොහොම සංවේදී මෙයාලට නිතර වතුර මාරු කිරීම් කරන්න ඕනේ. සතියකට වරක්  25%-30% පමණ ජලය මාරු කිරීම ප්‍රමාණවත්. නමුත් ටැංකියේ මත්ස්‍ය ඝනත්වය අනුව මේ වාර ගණන වෙනස් වෙන්න පුළුවන්.ඒ වගේම ජලය මාරු කිරීමා අමතරව ටැංකියේ ඉතුරු වී ඇති කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමත් කරන්න ඕනේ. ඒ වගේම ජලයේ ph අගය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ලොකු ටැංකියක් මේ විදියට නඩත්තු කරන්න හැකියාවක් තියෙන අයට තමා මෙයාල සුදුසු.

පීකොක් බාස් කියන්නේ ගොඩක් ඉඩ පහසුව අවශ්‍ය මත්ස්‍යයෙක්. පොඩි පැටවෙක්  නම් අවමය  ගැලුම් 70 ක් පමණ වන ටැංකියක් ලබා දෙන්න ඕනේ. වැඩුණු මත්ස්‍යයෙක් නම් අවම ගැලුන් 240 හෝ ඊට වැඩි වීම සුදුසුයි. හොඳ කාර්යක්ෂම ෆිල්ටර් පද්ධතියක් අත්‍යවශ්‍යයි. පතුල සඳහා වැලි හෝ ග්‍රැවල් ද බිත්තර දාන්න සුදුසු පැතලි ගල්, කොට වැනි දේ යොදාගෙන ටැංකිය අලංකාර කරගැනීම සුදුසුයි. ටැංකි අලංකරණයේ දී පිහිනීමට වැඩි ඉඩ පරාසයක් ලබාදීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාල ටිකක් විසේකාරයෝ. ඒ නිසා ෆිල්ටර්,හීටර් වගේ දේවල් වලට හානි කරන්න පුළුවන්.  එවැනි උපාංග ගල්, කොට වගේ දේවලින් මුවා වන ලෙස ස්ථානගත කිරීම ඒවා ආරක්ෂා කරගන්න පුලුවන් . සාමාන්‍ය ආලෝක තත්වයක් ලබාදෙන්න ඕනේ. Ph අගය 6.5-7.00 අතර සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-27 අතර තමා හිතකර තත්ත්ව.

ආහාර

ස්වභාවික පරිසරයේදී කුඩා මාළු වර්ග ගොදුරැ කරගන්නා මෙයාල ගොඩක් ම ප්‍රිය කරන්නේ ජීවී ආහාර වලට . ගෘහස්තව ඇති කරනවා නම් වෙනත් මාංශමය ආහාර වලට හුරු කරගන්න පුළුවන්. ගුණාත්මක ආහාර විවිධත්වයකින් යුතුව ලබාදීම මත්සයාගේ නිරෝගී වර්ධනයට හේතු වෙනවා.

කැපු මාළු, ඉස්සන්, ගැඩවිලන් , බ්ලඩ් වෝම්ස්, ටියුබිෆෙක්ස් වගේම ඔවුන් සඳහා වන flakes වගේ  දේවල් කෑමට දෙන්න පුළුවන්. දිනකට අඩු වාර ගණනක් වැඩි කෑම ප්‍රමාණයක් දෙනවට වඩා වැඩි වාර ගණනක් කෑම ටික ටික දීමෙන් ජලය අපවිත්‍ර වීම පාලනය කරගන්න පුළුවන්. කොහොම උනත් කෑම ඉතුරු උනොත් ඉවත් කරන්න ඕනේ.


මාංශමය ආහාර දෙන්න පුළුවන් උනාට.හරක් හදවත් , රතු මස්, කුකුළු මස් වැනි දේ නම් මෙයාලට නිතර දෙන්න හොඳ නෑ. ඒවාගේ තියෙන මේද කොටස් ජීර්ණය නොවීමෙන් අභ්‍යන්තර අවයව අවහිරතා නිසා රෝගී වෙන්න පුළුවන්. පුරුද්දක් විදියට නැතිව ඉඳ හිට මේ වගේ කෑම ලබා දීම සුදුසුයි.

ගති ලක්ෂණ

කලින් සඳහන් කළා වගේ මෙයාල ස්වභාවික පරිසරයේ දී ගොදුරු සොයාගෙන කන විලොපිකයෝ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. ටැංකියක උනත් කටට හරියන ඕනේ එකෙක් ගොදුරු විදියට ගන්නවා. ඒ නිසා විසේකාර බාස්ල ඉන්න ටැංකියට වෙනත් මාළු එකතු කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න . ඒ වගේම තනිව හෝ යුගල ලෙස ඇති කල හැකි උනත් සික්ලිඩ් වර්ගයක් වන මොවුන්  පිරිමි මසුන් දෙදෙනෙක් නම් සමාදානෙන් එකට ඉන්නේ නෑ. ටැංකිය ගොඩාක් ම විශාල නම් පමණක් පිරිමි මසුන් දෙදෙනෙක් එකට ඇතිකිරීමේ හැකියාවක් තියෙනවා. වෙනත් ලොකු ඇමෙරිකානු සික්ලිඩ් වර්ග, ලොකු ප්ලෙකෝ වර්ග, ඇරොවානා, ලොකු කැට් ෆිෂ් වර්ග , ස්ටින්ග් රේ වැනි මසුන්  මොවුන් සමග එකට ඇති කරන්න සුදුසුයි.

අභිජනනය

වැඩුණු පිරිමි මසුන්ගේ හිසේ ඉදිරිපස පිහිටන මොල්ලියෙන් ගැහැණු පිරිමි මසුන් වෙන්ව හඳුනාගන්න පුළුවන්.
ටැංකි තුල අභිජනනය ගැන වැඩි විස්තරයක් සඳහන් නොවුනත් ආහාර සඳහා ඇතිකරන පොකුණු තුල දී හොඳින් බෝ වී තියෙනවා. ඒ නිසා ස්වභාවික පරිසරයෙන් පිටත දී ත් බෝවීම සිදුවෙනවා.
මව පියා දෙදෙනාම දායක වෙන අභිජනන ක්‍රියාවලියක් තමා තියෙන්නේ. නොගැඹුරු ජලයේ ඇති පැතලි ගල් හෝ එවැනි මතුපිටක ගැහැණු සත්වයා විසින් බිත්තර දැමීම සිදු කරනවා. සාමාන්යෙන් බිත්තර 2000-3000ක් පමණ ප්‍රමාණයක් එක වරකදී දමනවා. හොඳින් වැඩුණු මසුන් නම් වරකට බිත්තර 9000-15000 අතර ප්‍රමාණයක් දැමීමේ හැකියාවක් පවතින බව සඳහන්. සික්ලිඩ් පවුලේ අනෙක් අය වගේම මෙයාල ත් හොඳ දෙමාපියන්. බිත්තර දැමු පසු මව පියා දෙදෙනා විසින්ම ඒවා ආරක්ෂා කරන අතර ඒ කාලය තුල මොවුන්ගේ කලහකාරී බව වැඩි වෙන්න පුළුවන්. බිත්තර දමා පැය 78ක් පමණ වෙන විට පැටවුන් එලියට එන අතර බිත්තර සඳහා සෙල්සියස් අංශක 28ක උෂ්ණත්වයක් පවත්වා ගැනීම සුදුසුයි. කුඩා පැටවුන් පිහිනීමට පටන් ගත් විට මදුරු කීටයන් වැනි ජීවී ආහාර ලබා දීම සුදුසුයි. මාස 12ක් පමණ වන විට ඔවුන් වැඩුන මසුන් බවට පත්වෙනවා.

වෙනත් පීකොක් බාස් වර්ග කිහිපයක් 
Cichla kelberi

Cichla monoculus

Cichla temensis

Cichla orinocensis 

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )

©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2