ගෙදර පොකිරිස්සෙක් ඇතිකරමු ද?

Procambarus clarkii (Red swamp crayfish)



කැමති ද පොකිරිස්සෙක් ඇති කරන්න? ඇතිකරන්න කලින් එයාල ගැන ටිකක් තොරතුරු දැනගනිමු . වර්ෂ 1852 දී Girard විසින් හඳුනාගන්නා ලද , Red swamp crayfish කියල හඳුන්වන මෙයාල උතුරු ඇමෙරිකාව නිජබිම කරගත්ත මිරිදිය පොකිරිස්සන් විශේෂයක්. පසු කාලීනව මෙයාල නැගෙනහිර ආසියාව , බටහිර, මධ්‍යම හා දකුණු යුරෝපය, දකුණු හා නැගෙනහිර අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ වගේම දකුණු හා මධ්‍යම ඇමෙරිකා වැනි කලාප වලට හඳුන්වා දීල තියෙනව.


සෙමින් ගලායන ජලයෙන් යුතු ඇල මාර්ග, අතු ගංගා , ජලාස , වගුරු තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ . නියං හෝ තද සීත කාල වලදී හාරාගත් ගුල් තුලට වී ආරක්ෂා වෙන්න මෙයාලට පුළුවන්.මෙයාලා ටිකක් කලහකාරී හැසිරීමක් සහිත විශේෂයක්. Mudbug , Louisiana crayfish කියන නම් භාවිතා වලින් හඳුන්වන්නේත් මෙයාලම තමා. වර්තමානය වන විට ජලජ ජීවින් ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය නිසා විවිධ වර්ණ වලින් යුතු අලුත් විශේෂ ත් දකින්න පුළුවන්.


ශරීර ලක්ෂණ

අඟල් 3-5ක් පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන් ගේ බර ග්රෑම් 50-80ක් පමණ වෙනවා. උපරිම ආයු කාලය අවුරුදු 3-5 පමණ කියලයි සඳහන් වෙන්නේ.සාමාන්යෙන් තද රතු පැහැති මෙයාලගේ බඳ පෙදෙසේ කළු පැහැති තුන්හුලස් හැඩති තීරු දකින්න පුළුවන්. හිසෙහි චලනය කළ හැකි අක්ෂි යුගලක් වගේම තියුණු හොම්බක් සහිතයි. දිගටි ඛණ්ඩනය වූ සිරුර සිහින් වූ තද කවචයකින් යුක්තයි. පාද යුගල් පහක් ඇති අතර ඉදිරිපසම ඇති යුගල ආහාර ලබා ගැනීමට උපයෝගී කරගන්නා අතර එය අනෙක්වාට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේම දිගුයි. මෙයාලට දිගු සංවේදක යුගලක් පිහිටා තියෙනව. මෙයාලගේ උදර ප්‍රදේශයේ  swimmerets නමින් හඳුන්වන කුඩා අඬු වැනි උපාංග යුගල පහක් පිහිටලා තියෙනව. පිහිනීමට වගේම බිත්තර රඳවා ගැනීමට මේවා උපයෝගී කරගන්නවා.

ගති ලක්ෂණ


දවල් කාලය පුරාම ගස්, ගල් කොට අස්සේ හැංගිලා ඉන්නයි මෙයාල කැමති. රාත්‍රී කාලයේ දී තමා ක්‍රියාශීලී වෙන්නේ. මොවුන්ගේ ජීවිත කාලය තුල බොහෝ වතාවක් මෙයාලගේ කවචය අලුත් කරගන්නවා. අර සර්පයෝ හැව අරිනවා වගේ. බිම හාරාගෙන ඉන්න එක මෙයාලගේ පුරුද්දක් . කෑම හොයන්න වගේම පුරුද්දක් විදියටත් එයාල ගුල් හාරනවා. කවචය අලුත් වන කාලය තුල දී මෙයාල ගේ ක්‍රියාශීලී බව අඩු වෙනවා. ඒ කාලෙට බිම හාර හාර ඉන්න එක තමා කරන එකම දේ. පරණ කවචයට යටින් තමා අලුත් කවචය හැදෙන්නේ. අලුතෙන් කවචය හැදුනම පරණ එක ගැලවිලා යනවා. නැවතත් පුරුදු දින චරියාවට පුරුදු වෙනවා.

ගෘහස්ථව ඇතිකිරීම


මෙයාල ගෘහස්තව ඇතිකිරීම අපහසු නැහැ.  හැබැයි ටිකක් කලහකාරී නිසා  වෙනත් මසුන් සමඟ ඇති කරනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනත් ලොබ්ස්ටර් වර්ග ඇති කරනවා නම් මෙයාලට ප්‍රමාණයෙන් සමාන වීම වැදගත්. එහෙම නොවුනොත් පොඩි සතුන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමා දිගු වරල් සහිත සහ හෙමින් පිහිනන මාළු වර්ග ටැංකියට දාන්නත් එපා.වරල් ඉරන්න, කන්න ඉඩ තියෙනව. ටැංකියේ ඉහල ස්ථරයේ පිහිනන මත්ස්‍ය වර්ග තමා මෙයාලත් එක්ක ඇතිකරන්න සුදුසු.

මෙයාලගේ ටැංකියට පොඩි ගල්, අතු රිකිලි යොදාගෙන අලංකාර කරගන්න පුළුවන්. ශාක වර්ග නම් යොදා ගන්න එක සුදුසු නෑ. මෙයාල ඒවා විනාස කරනව  වගේම කන්න ගන්නවා. ඒ වගේම මෙයාලගේ හාරන පුරුද්දට සුදුසු උපස්තරයක් යොදන්නත් ඕනේ. මඩ හෝ වැලි ඒ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම දිවා කාලයේ දී සැඟවී සිටීමට හැකි පරිදි අලංකරණ කටයුතු කිරීමට ත් සැලකිලිමත් වෙන්න.
ඒ වගේම මෙයාල පැනල යන්නත් හරි දස්සයි. ෆිල්ටර්, වයර් වගේ ඒවා දිගේ නැගල යන්න ඉඩකඩ තියෙනව. ඒ නිසා මෙයාලගේ ටැංකිය හොඳින් වැසුණු එකක් වීම වැදගත්.


අවම ලීටර් 80 ක පමණ ටැංකියක් ප්‍රමාණවත්. ලීටර් 160ක් සඳහා පොකිරිස්සන් 5-6 දෙනෙක් තමා නිර්දේශය.පිරිසිදු ජලය ලබා දෙන්න ඕනේ. සතියකට වරක් වත් වතුර මාරු කිරීම සුදුසුයි. සෙල්සියස් අංශක 19-25  ක පමණ උෂ්ණත්වය සහ ph අගය 7.5-8.0 අතර  තමා හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙන්නේ.

අභිජනනය

මේගොල්ලන්ගේ අභිජනනය සිද්ද වෙන්නේ සිසිර සෘතුව අවසානයේ  දී. ඒ කියන්නේ උත්තර අර්ධගෝලයේ නම් සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලයත්, දක්ෂිණ අර්ධ ගෝලයේ නම් මාර්තු සිට මැයි දක්වා කාලයත් තමා සරත් සමය. උණුසුම් කාලගුණයක් පවතී නම්  වසරකට දෙවරක් උනත් අභිජනනය කිරීමේ හැකියාවක් පවතිනවා.

ගැහැණු සහ පිරිමි සතුන් දෙදෙනාගේම ප්‍රජනේන්ද්‍රිය පිහිටන්නේ සමාන ස්ථාන වලයි. වෘෂණ ග්‍රන්ථි සුදු පැහැයෙන් යුක්ත අතර ඩිම්බකෝෂ තැඹිලි පැහැයෙන් යුක්තයි.
පිරිමි සත්වයා විසින් ශුක්‍රානු සෛල පස්වන පාද යුගල අතර පිහිටි සිදුරකින් පිට කරන අතර ගැහැණු සත්වයාගේ තුන්වන පාද යුගල අසලින් එම සෛල  ඇතුළු වීම සිදු වේ. බිත්තර සංසේචනය සිදු වන්නේ සිරුර තුල දී ය.  සංසේචනය සිදු වූ පසු එම බිත්තර සති හයක පමණ කාලයක් swimmerets නමින් හඳුන්වන උපාංග අතර රඳවා තබාගන්නවා. එහි දී වසන්ත කාලය ආරම්භයත් සමග මුලින්ම කීටයන් එලියට එන අතර මෙම  කුඩාවුන් මාස දෙකක් පමණ ගත කරන්නේ අම්මා එක්ක. මාස තුනක් පමණ වන විට මෙයාල කවච නිර්මාණය වී පරිනත සතුන් බවට පත්වෙනවා.


ගැහැණු සත්වයාගේ ශරීර ප්‍රමාණය මත දමන බිත්තර ගණන වෙනස් වෙන්න පුළුවන්. හොඳින් වැඩුණු ලොකු ගැහැණු සතෙක් නම් වරකට බිත්තර 500 ක් පමණ දමන්න හැකියාවක් තියෙනව. මෑතක සිදු කල පරීක්ෂණ වල දී මොවුන්ට පිරිමි සතෙකු විසින් සංසේචනය නොකරත් පැටවුන් ලබා දිය හැකි බව සඳහන් වෙනවා.
මෙයාලගේ බිත්තර වගේම පැටව් සහ වැඩුණු මසුනුත් බොහෝ විට ලොකු මාළුන්ට ගොදුරු වෙනවා.

ආහාර


මේ පොකිරිස්සන් සර්ව භක්ෂකයන් උනත් මාංශමය ආහාර තමා ගොඩක් ප්‍රිය කරන්නේ. බෙල්ලන්, ඉස්ගෙඩි , කෘමි කීටයන් වගේ දේවල් කෑමට ගන්නවා. මෙවැනි කෑම හිඟ අවස්ථා වල දී පනුවන් හෝ මැරුණු සත්ව කොටස් වැනි දේ ආහාරයට ගෙන දිවි රැකගන්න මොවුන්ට පුළුවන්.

ගෘහස්තව ඇතිකරනවා නම්  දිනපතා වරක් හෝ දෙවරක් කෑම ලබා දෙන්න ඕනේ.හැබැයි සුළු ප්‍රමාණයක්. වියලි හෝ ශීත කල මාළු, ටියුබිෆ්ලෙක්ස්, කුඩා බෙල්ලන්, බ්ලඩ් වෝම්ස් , කොළ එළවලු වර්ග, ක්‍රස්ටේසියාවන් සඳහා ම වන pellets වර්ග  වගේ දේවල් කෑමට දෙන්න පුළුවන්.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )
©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2