අලංකාර හාදු ගුරාමි මසුන්.....




Helostoma temminkii / Kissing Gourami

ඉතා දිගු කාලයක් තිස්සේ ම විසිතුරු මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය හාදු ගුරාමි මසුන් වර්ෂ 1829 දී ප්‍රංශ ජාතික සත්ව විද්‍යාඥයෙකු වන Cuvier විසින් තමා හඳුනාගෙන තිබෙන්නේ. ලන්දේසි ජාතික වෛද්‍ය වරයෙක් වන Temminck ගේ නමින් තමා මොවුන් නම් කරලා තියෙන්නේ. වර්ෂ 1950 දී මොවුන් විසිතුරු මසුන් කර්මාන්තයට හඳුන්වා දී ඇති අතර  ස්වභාවික පරිසරයේ හමුවන මොවුන් පැහැයෙන් වෙනස් වන අතර පසු කාලීනව විසිතුරු මසුන් කර්මාන්තය සඳහා රෝස - සුදු වර්ණ වලින් යුතු හාදු ගුරාමි මසුන් හඳුන්වා දීල තියෙනව. ස්වභාවිකව අළු-කොළ පැහැති වර්ණයෙන් සහ රෝස වර්ණයෙන් යුතු මසුන් හමුවන අතර අළු-කොළ වර්ණ මසුන් වාර්තා වන්නේ තායිලන්තයෙන්. ඔවුන් ග්‍රීන් කිසර් ලෙස හඳුන්වන අතර දකුණු ඉන්දුනීසියා ප්‍රදේශයෙන් හමුවන රෝස පැහැති විශේෂය පින්ක්  කිසර් ලෙස හඳුන්වනවා.වර්තමානය වන විට සිරුර කෙටි වූ කුරු  වර්ග වගේම බැලුන් ආකාර වර්ග දක්වා මෙයාල දියුණු කරලා ඇති බව සඳහන්.

කිසින්ග් ෆිෂ්, පින්ක්  කිසින්ග් ගුරාමි, ග්‍රීන් කිසර් කියන විවිධ නම් වලින් හඳුන්වන්නේ ත්  මෙයාලම තමා .



ව්‍යාප්තිය හා වාසස්ථාන

මුලින්ම ඉන්දුනීසියාවේ ජාවා දුපතෙන් වාර්තා උනත් දකුණු ඉන්දුචීන ප්‍රදේශය, වියට්නාමය, කාම්බෝජියාව, තායිලන්තය , මලයාසියානු අර්ධද්වීපය , බෝනියෝ දුපත් ,සුමාත්‍රා, ජාවා වැනි දුපත් විශාල ප්‍රමාණයක පැතිරුණු ව්‍යාප්තියක් ඇති බවට සඳහන් වෙනවා.

පසු කාලීන ව මොවුන් විසිතුරු මසුන් කර්මාන්තය සඳහා ම වැඩි දියුණු කර තියෙනවා . ඒ වගේම ආහාරමය අවශ්‍යතා සඳහා ත් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වැනි ප්‍රදේශ වලට හඳුන්වා දී තියෙනව.
ඒ හැරුණු විට ෆ්ලොරීඩාව, චෙක් ජනරජය , තායිලන්තය සහ සිංගප්පුරුව වැනි රටවල විසිතුරු මසුන් කර්මාන්තය සඳහා වානිජමය වශයෙන් බෝ කරන මත්ස්‍ය ගහන බහුලයි.
ජපානය , ඔස්ට්‍රේලියාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය හා වෙනත් විශාල රටවල් ප්‍රමාණයකට මොවුන් තොග වශයෙන් අපනයනය කරනවා.

ස්වභාවික පරිසරයේ දී මෙයාල සෙමින් ගලා යන ජලය සහිත පරිසර ප්‍රිය කරන්නන්. ජල ගැලීම් නිසා ඇති වූ ජලාස, වගුරු, විල් වැනි පරිසර පද්ධති මෙයාලගේ වාසස්ථාන වෙනවා. පැහැදිලි වගේම අඳුරු ජලය කියන දෙකටම ඔරොත්තු දෙන්න පුළුවන්. ගිලුණු ශාක සහිත පරිසර පද්ධති වල මෙයාල දකින්න පුළුවන්.

බැලුන් කිසින්ග් ගුරාමි 



ශරීර ස්වභාවය

පැතලි සිරුරකින් යුක්තයි. ළය වරල විශාලයි වගේම රවුම් හැඩතියි. වල්ගා වරල අවතල ආකාරයට රවුම් හැඩයකින් යුක්තයි.
මෙයාලට වායුගෝලයේ ඇති ඔක්සිජන් ලබා ගත හැකි ආකාරයේ ශ්වසන අවයවයක් පිහිටලා තියෙනව. ඒ හැරුනම තියෙන විශේෂිතම ලක්ෂණය තමා මෙයාලගේ මුඛයේ පිහිටලා තියෙන තොල්.  මාන්ශයම තොල් වලට ඇතුලතින් කුඩා දත් පිහිටලා තියෙනව. මෙයාල මේ තොල් සහ කුඩා දත් භාවිතයෙන් ටැංකියේ වීදුරු , කොට වල තියෙන ඇල්ගී එහෙම උලා කන විට ඇති පෙනුම නිසාම මෙයාලට කිසින්ග් ගුරාමි කියන නම පට බැඳිලා තියෙනවා.
සාමාන්‍යයෙන් උපරිම ආයු කාලය වසර 6-8 ක් ලෙස සලකුණත් හොඳින් බලාගන්නවා නම් වසර 20ක් පමණ දක්වා ආයු කාලයක් හිමියි.

ස්වභාවික පරිසරයේ අඟල් 12ක්  පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන් ටැංකි තුල නම් අඟල් 5-6 ක් පමණ තමා වැඩෙන්නේ.



ටැංකි සකස් කිරීම සහ නඩත්තුව

මෙයාලට ටැංකි සකස් කරන්න නම් ලොකු අමාරුවක් නෑ. ගැලුන් 75ක් පමණ වන ටැංකියක් ප්‍රමාණවත්. පොඩි පැටවුන් සඳහා නම් කුඩා ටැංකියක් ප්‍රමාණවත් උනත් වැඩෙන මසුන් ට ඉඩ කඩ ඇති ටැංකියක් සපයන්න ඕනේ.ගස් ජාති දානවා නම් තමා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙයාල ශාක ආහාරයට ගන්නවා. කොහොම උනත් උලාකන්න පුළුවන් ශාක වර්ග ඉඳ හිට හෝ ලැබෙනවා නම් මෙයාල කැමති. පිහිනන්න ඉඩකඩ තියෙන ටැංකියක් වෙන්න ඕනේ . ටැංකිය අලංකරණයට කොට, මුල් වැනි දේ ඉතා සුදුසුයි. ගල් නම් මෙයාල ගේ ස්වභාවික පරිසරයේ නැති ම තරම්. ඒ නිසා ස්වභාවික පරිසරයට හුරු පරිසරයක් හදල දෙනවා නම් මුල් , කොට , ශාක , ශාකමය කොටස් භාවිත කරන්න. ශාක භාවිතා කරනවා නම් ටිකක් සවියකින් යුතු පත්‍ර සහිත Anubias වර්ග, Microsorum වර්ග යොදාගන්න පුළුවන්. ඒ වගේම පාවෙන පැළෑටි වර්ගත් සාර්ථකව භාවිතා කරන්න පුළුවන්.

ටැංකියේ පතුලට ලොකු ග්‍රැවල් යොදාගන්න එක ඉතා සුදුසුයි. ඒ වගේම තමා අඳුරු පැහැති පතුලක් ඇති ටැංකියක මෙයාල ගේ වර්ණ ඉතා හොඳින් දර්ශනය වෙනවා.

හොඳ ෆිල්ටරයක් තියෙන්න ඕනේ උනාට ඒ මගින් තදින් ගලායන ජල තත්වයක් ඇති නොවෙන්න වගබලාගන්න ඕනේ. වතුරේ සෙලවීම වැඩි උනොත් මෙයාල ස්ට්‍රෙස් වෙන්න පුළුවන්.මෙයාල ගොඩක් අපද්‍රව්‍ය  ටැංකියට එකතු කරන නිසා සතිපතා 30%-50% ක පමණ වතුර මාරුවක් කරන්න ඕනේ. මඳ ආලෝක තත්වය වගේම අඳුරු ආලෝක තත්වයට ත් මෙයාල ඔරොත්තු දෙන නිසා කැමති පරිදි ආලෝකය ලබා දෙන්න පුළුවන්. වැදගත් ම දේ තමා ටැංකියේ ඉහලටම ජලය පුරවන්න එපා. මෙයාලට වායුගෝලයේ වාතය අවශ්‍යයි.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.2-27.8 , ph අගය 6.0-8.8 අතර පවත්වා ගැනීමතමා හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙන්නේ .




ආහාර

සර්ව භක්ෂකයන් වන මොවුන් ස්වභාවික පරිසරයේ දී ශාකමය ද්‍රව්‍ය වගේම ඉතා කුඩා සතුන්  ඇල්ගී ආහාර විදියට ගන්නවා.

කෑම ගන්න විදිය ගැන බැලුවොත් නම් මෙයාල ටිකක් විශේෂිතයි. සරල වම කිව්වොත් පෙරා බුදින්නන් කියල හඳුන්වන්න පුළුවන්. මෙයාලගේ කරමල් දැති ත් ඒ සඳහා ම විශේෂිතව සැකසිලා තියෙනවා. මාංශමය තොල් සහ තද කුඩා සෙලවිය හැකි දත් පිහිටලා තියෙනව. මේ මගින් ඇල්ගී, ගිලුණු ශාක වැනි සුමුදු දේවල් හුරල ගන්න (උලා කනවා වගේ ) පුළුවන්. ඒ වෙනත් දත් පිහිටීමක් නැති නිසා තද දේවල් හපන්න, පොඩි කරගන්න නම් හැකියාවක් නෑ .

ටැංකියක උනත් ඇල්ගී තියෙනවා නම් නිතර ඒවා උලාකමින් ඉන්නවා දකින්න පුළුවන්. පිටතින් කෑම ලබා දෙනකොටත් ලොකු තද හපල ගිලින්න ඕනේ කෑම වර්ග නොදී ඉන්න සැලකිලිමත් වෙන්න ඕනේ. පහසුවෙන් කැඩෙන හොඳ තත්වයේ Flakes, pallets වර්ග තමා සුදුසුම. ඒ හැරුනාම මදුරු පනුවෝ, tubifex, artemia වැනි දේවලුත් කෑමට එකතු කරන්න පුළුවන් .
දිනකට දෙවරක් කෑම ලබාදීම ප්‍රමාණවත්.


හැසිරීම සහ ගැලපෙන මත්ස්‍යය වර්ග.

ටැංකිය පුරාම පීනන මසුන් වර්ගයක් උනත් ටැංකියේ මැද සහ ඉහල කොටසේ පිහිනන්න වඩාත් ප්‍රිය යි.
මෙයාල වගේම ශක්තිමත් මසුන් වර්ග එක්ක හදන්න පුළුවන්  හොඳින් ඉඩ කඩ තියෙන ටැංකියක නම්. ඒ වගේම මෙයාලට මිලි මීටර ගානකට වඩා ලොකු දේවල් ගොදුරැ කරගන්න බැරි නිසා කුඩා සිප්‍රිනිඩ් වර්ගයේ මාළු රංචු , මෙයාලව ගොදුරු කරගන්න බැරි තරමේ කැට් ෆිෂ් වර්ග, charcins වර්ග , සික්ලිඩ් වර්ග වගේ මත්ස්‍යය වර්ග එකතු කරන්න පුළුවන්.

සමුහවාසීන් නොවන මේ ගොල්ලෝ ඉඩකඩ සීමිත නම් ටිකක් වසයි. දුර්වලයා මැරෙන තුරු හෝ පහරදීල ශක්තිවන්තයා ජය ගන්නවා. ටැංකියට අලුතෙන් මසුන් හඳුන්වා දෙනකොටත් පහර දීම් සිද්ද වෙන්න පුළුවන්. හැබැයි ඉඩකඩ ඇති ටැංකියක නම් කුඩා කාලේ ඉඳල ම හැදුවොත් මසුන් කාණ්ඩයක් විදියට සාමකාමී ව ඉන්න අවස්තාව තියෙනවා.



අභිජනනය

වැඩුණු ගැහැණු මසුන් බිත්තර දමන කාලයේ දී පිරිමි මසුන්ට වඩා රවුම් උදරයකින් යුක්ත වීම හැර වෙනත් හඳුනා ගැනීමේ ලක්ෂණයක් නම් සඳහන් වෙන්නේ නෑ .

දෙමාපිය රැකවරණ නොදෙන anabantoids වර්ග කිහිපය අතරින් මෙයාලත් එක් වර්ගයක්. ස්වභාවික පරිසරයේ දී නම් වර්ෂා කාලයේ දී අභිජනනය සිදු වන අතර ඒ සඳහා ඔවුන් ජල ගැලීම් වලට ලක් වූ ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. එක් ගැහැණු සත්වයෙක් වරකට බිත්තර දහස් ගණනක් දමන අතර මේවා නිකන්ම ගස් අතර විසුරුවා හරිනවා.  මේවා පැය 24-36 ක් පමණ වන බීජෞෂණ සමය තුල පාවෙමින් පවතින අතර පැය 48ක් පමණ වන විට පැටවුන් පිහිනීම ආරම්භ කරනවා.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

©janakiecjoseph2018



Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2