මලබාර් ස්නේක් හෙඩ් මසුන් ගැන දැනගමු


Channa diplogramma





හැඳින්වීම සහ ව්‍යාප්තිය

වර්ෂ 1865 දී Day විසින් හඳුනා ගන්නා ලද මොවුන් අපේ අසලවාසී ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික විශේෂයක්. මෙයාලට diplogramma කියන නම ලැබිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකක් එකතුවෙලා. දෙකක්, ජෝඩුවක්, කියන අර්ථය ඇති Diplos කියන වචනය රේඛාව/ඉර කියන තේරුම ඇති gramme කියන වචනය එක්ක එකතුවෙලා diplogramma කියන නාමය ලැබිලා තියෙනව. කුඩා කාලයේ දී මොවුන්ගේ සිරුරේ ඇති ඉරි දෙක හේතුකරගෙන මේ නම් තැබීම සිදු කරලා තියෙනව.

මලයාලම් බසින් දේශීයව Pulivaga කියල හඳුන්වන මලබාර් ස්නේක් හෙඩ් ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික මත්ස්‍යය විශේෂයක්. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට  සමාන්තරව දිවෙන  බටහිර ඝාත්  කඳු පන්තිය ආශ්‍රිතව මොවුන්ගේ නිජබිම් පිහිටා තියෙනව. කේරලා ප්‍රාන්තයේ මීනාචිල්, මනිමාල,පම්පා ,අචෙන්කොවිල් සහ කල්ලඩ යන ගංගා වල මෙන්ම තමිල්නාඩුවේ ඇතැම් ස්ථාන වලින් ද මොවුන් වාර්තා වී තිබෙනවා.

ශරීර ලක්ෂණ



මලබාර් ස්නේක් හෙඩ් කුඩා කාලයේ දී සිරුරේ දික් අතට පිහිටි කළු පැහැති රේඛා ද්විත්වයක් පිහිටනවා. එම රේඛා දෙක අතර සහ ඉහල රේඛාවෙන් උඩ ප්‍රදේශය තැඹිලි පැහැයට හුරු පැහැයකින් යුක්තයි.  මොවුන් වර්ධනය වීමත් සමඟ එම වර්ණය කහ පැහැයට හැරෙන අතර පසුව ලා දුඹුරු, ලා කළු වර්ණයට පත්වෙනවා. මේ සමඟ සිරුරේ කළු ඉරි මැකී රටාවකින් තොර කළු ලප දක්නට ලැබෙනවා. සමස්තයක් විදියට ගත්තම අළු පැහැති මත්ස්‍යයෙක්  බවට පත් වෙනවා .

තැඹිලි වර්ණ ඇති කුඩා පැටවුන්

කහ වර්ණයට හැරුණු පැටවෙක් 

මොවුන් තරුණ වියට එළඹෙන විට එම කළු ලප විශාල වී එකට එක්වන අතර සිරුරේ එක් අංශයක ඉහල කොටසේ  4-6 බැගින් වූ සුදු පැල්ලම් බවට පත් වෙනවා .

වැඩුණු මසුන්ගේ පෙනුම තවත් වෙනස් වෙනවා. බඳ පෙදෙස, වල්ගා වරල, පෘෂ්ටීය  මතුපිට සහ හිස දම්-කළු වර්ණයක් ගන්නා අතර පෘෂ්ටීය වරල්, ගුද වරල සිහින් අලුපහැති දාරයකින් යුක්තයි.



ඇතිකිරීම හා ටැංකි සැකසීම

අඟල් 24ක් පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන් මහජන මින් මැදුරකට හෝ විශාල පුද්ගලික මින් මැදුරකට වඩාත් ම සුදුසු වන බවටයි නිර්දේශය.

ගෘහස්ථව ඇති කරන්නේ නම් ලොකු පොකුණක හෝ අවම අඩි 6ක පමණ වත් ටැංකියක් ලබා දෙන්න ඕනේ.
මෙයාලගේ ටැංකිය හොඳින් වැසුණු ටැංකියක් වෙන්න ඕනේ. අනිත් channa විශේෂ වගේම මෙයාලත් පැනලා යන්න දස්සයෝ ලු. ඒ වගේම තමා ටැංකියේ ජල මට්ටමට ඉහලින් අවකාශ තියෙන්න ඕනේ අවශ්‍ය විටෙක  වායුගෝලිය  ඔක්සිජන් ලබාගන්න.. ඒ වගේම අනෙකුත් ස්නේක් හෙඩ් පවුලේ සාමාජිකයන්ට වඩා වැඩි පිහිනුම් අවකාශයක් ලබා දෙන්න ත් ඕනේ.





හොඳ පෙරහන් පද්ධතියක් තිබීම අවශ්‍යයි. සතියකට වරක් 15%-20% පමණ වතුර මාරුවක් කරන්න ඕනේ. පතුලේ ඉතිරි වෙන කෑම කැබලි සුන් බුන් ඉවත් කරන්න ඕනේ.

වැලි සහ මඩ සහිත පතුලක්, පාවෙන පැළෑටි හෝ ශාක වර්ග වලින් මතුපිට ආවරණයක් , කොට කැබලි වැනි දේ සහිත ව ස්වභාවික පරිසරයට සමාන ව ටැංකිය අලංකාර කරගන්නවා නම් ඉතා හොඳයි. එමගින් ඔවුන්ගේ ස්වභාවික චර්යා සහ වර්ණ රටා වගේම ආතතියකින් තොර සෞඛ්‍යසම්පන්න බව මනාව පවත්වා ගත හැකියි.

මෙම විශේෂය තනිව ඇති කිරීම වඩාත්ම සුදුසුයි. කුඩා පැටවුන් සහ තරමක් වැඩුනු මසුන් එකිනෙකා සාමකාමීව හිටියත් ලිංගික පරිනතියට පත්වීමත් සමඟ මොවුන් කලහකාරී වෙනවා.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 22-32 ත් අතර සහ ph අගය 6.0-8.0 අතර පවත්වා ගැනීම හිතකර තත්ත්ව ලෙස සැලකෙනවා.

ආහාර
ස්වභාවයෙන් ම විලෝපිකයන් වන මොවුන් ස්වභාවික පරිසරයේ දී කුඩා මාළු වර්ග, කෘමින්, කුඩා උභය ජීවින් වැනි සතුන් ගොදුරු කරගෙන ආහාරයට ගන්නවා. ඇතිකරනවා නම් අමු හෝ ශීතකළ  මාංශමය ආහාර ලබා දෙනන පුළුවන්. සමහරුන් වියලි ආහාර ත් ලබා ගැනීමට හුරු උනත් එය ප්‍රධාන ආහාරයක් ලෙස ලබා දීමෙන් මත්ස්‍යා ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න පුළුවන්.



කුඩා කාලයේ දී බ්ලඩ් වෝර්ම්ස්, කුඩා ගැඩවිලන් , කුඩාවට කැපු ඉස්සන් වැනි දේ ආහාර වශයෙන් ලබා දෙන්න පුළුවන්. වැඩිහිටි මසුන්ට කැපු මාළු, ඉස්සන්, බෙල්ලන්, කුනිස්සන් වැනි දේවල් කෑමට දෙන්න පුළුවන්.

ආහාර ලබා දෙනවිට හරක් හදවත්, කුකුළු මස් වැනි ක්ෂීරපායි සහ කුරුළු මාංශ ලබා නොදීමට වගබලාගන්න ඕනේ. ඒවායේ අඩංගු වන ඇතැම් මේද කොටස් ජීර්ණය නොවී තැන්පත් වීමෙන් මසුන් රෝගී වෙන්න පුළුවන්.

සමහරුන් ආහාර විදියට කුඩා ජීවී  ගෝල්ඩ් ෆිෂ් හෝ එවැනි මසුන් ලබා දුන්නත් එයින් විශේෂ පෝෂණයක් නොලැබෙනවා වගේම ඒ මසුන්ගෙන් රෝග බෝවීමේ අවධානමක් පවතිනවා. ජීවී ආහාර ලබා දෙන්නේ නම් ඉතා හොඳින් නිරෝධායනය කල යුතුයි.

කෑම ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු අනෙක් කාරණය තමා කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස ආහාර ලබා නොදිය යුතුයි.අලුත ගෙනා කුඩා පැටවුන් නම් දිනකට වරක් හෝ දවසක් හැර දවසක් ද, තරමක් වැඩුණු හා වැඩුණු මසුන් සඳහා සතියකට 3-4 වරක් පමණ ආහාර ලබා දීම ප්‍රමාණවත්. මේ මගින් ඔවුන්ගේ ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු වන අතර සෞඛ්‍ය තත්වය ආරක්ෂා වෙනවා. අභ්‍යන්තර බැක්ටීරියා වර්ධනය අවම කෙරෙන අතර මලබද්ධය, ඉදිමුම වැනි තත්ත්ව ඇති වීම වැළකෙනවා.


ලංකාවට ආනයනය කල මුල්ම මලබාර් ස්නේක් හෙඩ් මත්ස්‍යයා.


විලෝපික මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය මොවුන් ශ්‍රී  ලංකාවේ දීත් රු.15,000 පමණ සිට  මිලදී ගැනීමේ හැකියාව තියෙනව.


(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)
©janakiecjoseph2018

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2