දැක්කම භය හිතෙන වැම්පයර් ටෙට්‍රා ගැන දැනගනිමු.


Hydrolycus armatus



හයිඩ්රොලයිකස් ආර්මටස් එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ Payara, Sabertooth Characin, Sabertoothed Tiger Fish, Vampire Fish, Vampire Tetra  කියන නම් වලින් හඳුන්වන මත්ස්‍යයා අයත් වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්නා කුඩා නියෝන්ටෙට්‍රා මසුන්ගේ සිට විශාල පාකු, පිරානා වැනි මසුන්වත් අයත් වෙන Characiformes එහෙමත් නැත්නම් Characin කියන මත්ස්‍ය වංශයට . බ්‍රසීලයේ ස්වදේශික භාෂාවෙන් මොවුන් හඳුන්වන්නේ “Cachorra” , “Pirandira” කියන නම් වලින්. විද්‍යාත්මක නාමකරණයට අනුව මෙම මත්ස්‍යා ගේ වංශය , කුලය, ගණය ගැන දැක්වෙන්නේ පහත ආකාරයට.

Kingdom : Animalia
                සත්ව රාජධානිය

Phylum : Chordata
            පෘෂ්ටවංශීන්

Class : Actinopterygii
                කටු සහිත මසුන්ගේ උප වර්ගයක් වන මෙයට අස්ථිමය හෝ දෘඩ දාර සහිත වරල් ඇති මසුන් අයත් වේ.

Order : Characiformes
                අස්ථිමය හෝ දෘඩ දාර සහිත වරල් දරන මිරිදිය මසුන් මෙම ගෝත්‍රයට අයත් වන අතර පරිණාමික ව මොවුන්ගේ විකාශනය පුර්ව ක්රෙටෙසියස් යුගය දක්වා ඈතට විහිදේ. Characin පවුලේ ආදීතමයා ලෙස සැලකෙන දැනට වසර මිලියන 115 කට පමණ වඳ වී ගිය Santanichthys diasii ගේ ෆොසිල හමු වී ඇත්තේ බ්‍රසීලයෙනි. වර්තමානයේ දී මෙම ගෝත්‍රයේ සියලුම මිරිදිය වාසය කලත් ආදිතමයන් කලපුදිය හෝ කරදියේ වාසය කල බවට යි සැලකෙන්නේ.

ජෛවභුගෝලීය වශයෙන් ගත් කළ මොවුන්ගේ බහුල ව්‍යාප්තියක් පෙන්වන්නේ නව නිවර්තන කලාපයේ ( Neotropical Realm) වන අතර ඒ අතරිනුත් ගංගා ජලාස බහුලව ඇති දකුණු සහ මධ්‍යම ඇමරිකාව විශේෂයි. ඒ හැරුණු විට Distichodontidae , Citharinidae , Alestidae , Hepsetidae වැනි කුල වලට අයත් විශේෂ 209ක් පමණ අප්‍රිකානු කලාපයේ වාසය කරනවා. අනෙකුත් සියලු characin විශේෂ ඇමෙරිකානු කලාපය වාසස්ථාන කරගත්තවුන් වන අතර විශේෂ 2000 කට වැඩි characin ගෝත්‍රයේ හඳුනා ගත් කුල (Family) 18ක් සහ ගණ (Genus) 270ක් පමණ දැනට ඇති බව සඳහන්.


Family : Cynodontidae
                Dogtooth Characins එහෙමත් නැතිනම් Vampire tetras කියල සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන මෙම කුලයට අයත් වෙන්නේ දකුණු ඇමෙරිකානු මිරිදිය, විලෝපික , characiform ඒ කියන්නේ අස්ථිමය හෝ දෘඩ දාර සහිත වරල් දරන මසුන්. මේ කුලයට ගණ 05ක් සහ විශේෂ 14ක් අයත්.

දිගටි හැඩය , රිදී හෝ අළුවන් ශරීර වර්ණය වගේම උඩු අතට පිහිටි මුඛය මොවුන්ගේ විශේෂ ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකියි. මොවුන්ගේ දිගු තියුණු දත් වල පිහිටීම නිසා විද්‍යාත්මක වගේම සාමාන්‍ය කුල නාමයන් ලැබී තිබෙනවා. අඟල් 46ක් (117 cm ) පමණ උපරිම වර්ධනයක් දැකිය හැකි බව සඳහන්.

ජලයේ මධ්‍යම ස්ථරයේ සිට මතුපිට ස්ථරය දක්වා වසන මොවුන්ගේ විශේෂ බොහොමයක්  ඔරිනොකෝ සහ ඇමසෝන් ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංගා, ජලාශ හා ජල ගැලුම් ඇති වූ වනගත ප්‍රදේශ  වල වගේම ගයානාවේ (Guianas) ගංගා වලත් වාසය කරනවා. ඒ හැරුණු විට Rhaphiodon vulpinus විශේෂය තරමක් දකුණු දිගට වන්නට Parana, Paraguay සහ Uruguay ගංගා ද්‍රෝණි ආශ්‍රිතවත් Gilbertolus ගණය කොලොම්බියාවේ Atrato හා Magdalena ගංගා ද්‍රෝණි සහ වෙනිසියුලාවේ Maracaibo ජලාශය ආශ්‍රිතවත් වාසය කරනවා.


Genus : Hydrolycus

ඝර්ම කලාපීය දකුණු ඇමෙරිකානු විශාල dogtooth characins මසුන් මේ ගණයට අයත් වන අතර එය විශේෂ හතරකින් සමන්විතයි.

Hydrolycus scomberoides

Hydrolycus tatauaia


Hydrolycus wallacei

Hydrolycus armatus


වර්ෂ 1841 දී Jardine & Schomburgk විසින් හඳුන්වා දෙන ලද මෙයාලට නම ලැබිලා තියෙන්නේ ශරීර ස්වභාවය නිසාම බව පැහැදිලියි. ග්‍රීක භාෂාවෙන් ජලය යන අරුත දෙන Hydro වදනත් වෘකයා යන තේරුමෙන් යුතු Lykos කියන වදනත් එකතුවෙන් Hydrolycus කියන ඝන නාමයත් , සන්නද්ධ යන තේරුම් දෙන ලතින් වදනක් වන armatus යන වදනත් එක් වීමෙන් Hydrolycus armatus යන නම ලැබී ඇති අතර මොවුන්ගේ බිය ගෙන දෙන සුළු දන්ත පිහිටීම ඊට හේතු වන්න ට ඇති බවටයි සැලකෙන්නේ.

වාසස්ථාන හා ව්‍යාප්තිය

දකුණු අමෙරිකාවේ ඇමසෝන් ගංගා ද්‍රෝණියේ නැගෙනහිර හා මධ්‍යම ප්‍රදේශ වන බ්‍රසීලය , වෙනිසියුලාව  සහ  ගයානාවේ රියෝ ඔරිනොකෝ සහ Essequibo ගංගා ආශ්‍රිතව මොවුන් ස්වභාවිකව වාසය කරන ප්‍රදේශ. මොවුන්ව මුලින්ම හඳුනාගෙන තියෙන්නේ ත් ගයානාවේ එස්කිබෝ ගංගාව ආශ්‍රිත Maipuri කියන ප්‍රදේශයෙන් බවයි සඳහන්.

හොඳින් ගලායන ජලය සහිත ප්‍රදේශ වාසස්ථාන කරගන්නා මොවුන් සැරිසරන්නේ ජලයේ මධ්‍යම හා මතුපිට ස්තර අතර ප්‍රදේශයේ. පැහැදිලි ජලයේ වගේම අඳුරු ජලයේ ( Black water) ත් මොවුන් එක සේ වාසය කරනවා.

සෙ.මි 5-7 පමණ පැටවෙක් 

ගතිලක්ෂණ සහ ශරීර ස්වභාවය

අනෙකුත් සේබර් ටූත් Characin මසුන්ගේ වගේම මෙයාලටත් දිගටි සිරුරක් හිමි අතර එය සුමට වගේම ශක්තිමත්. වල්ගය දෙසට වන්නට සිහින් වන සිරුර කෙලවර අවානක ආකාරයේ (fan shape ) ලොකු වල්ගා වරල පිහිටනවා. සිරුර පෘෂ්ටීයව මඳ තද වර්ණයකින් යුක්තයි. හිස සහ සිරුර දීප්තිමත් රිදී පැහැයෙන් යුතුයි.  මොවුන්ගේ කහවන් ගුද හා වල්ගා වරල් විනිවිද පෙනෙන-නොපෙනෙන සුළුයි. වරල් වල පිටත දාරය දෙසට වන්නට කළු වර්ණයක් ගන්නා අතර ඇතැම් විට සුදු පැහැති ලප දකින්න පුළුවන්. මෙම ගුද හා වල්ගා වරල් දාර වල දකින්න ඇති සුදු පැහැය මෙම ගණයේ අනෙකුත් කිසිදු විශේෂයක නොමැති ලක්ෂණයකි.

උඩු අතට පිහිටි මුඛය ඉඳි කටු වන් ඉතා තියුණු දත් වලින් යුක්තයි. යටි හනුවේ සුනඛයන් ගේ දත් වැනි දිගු තියුණු දත් දෙකක් පිහිටා ඇත. මෙම දිගු දත් නිසාම හොඳින් මුඛය වැසිය හැකි වන පරිදි උඩු හනුවේ සිදුරු දෙකක් පිහිටා ඇති අතර දත් හා එම සිදුරු එකිනෙකට හොඳින් පෑහේ.


පෙනුමෙන් මොවුන් Hydrolycus scomberoides ට බොහෝ සමානකම් දක්වන අතර මොවුන් දෙදෙනාට ම පොදු ව්‍යවහාරයේ දී වැම්පයර් චැරසින් , Payara යන නම් භාවිත කරන්න එය හේතුවී තිබේ.

ස්වභාවික ව මොවුන් අඟල් 24ක් පමණ දක්වා වර්ධනයක් පෙන්වන බව සඳහන් උනත් ඊට වඩා විශාල වනු ඇතැයි අනුමාන කෙරෙනවා. උපරිම ආයු කාලය පිළිබඳවත් නිවැරදි දත්ත නැති අතර මත්ස්යාගාර වල ඇතිකරන මසුන් මාස 6- අවු.1ක් පමණ ආයු කාල ඇත්තවුන් බවයි සඳහන්. අවුරුදු දෙකක් දිවි ගෙවූ අවස්තාවන් ද වාර්තා වී තිබෙනවා.

ස්වභාවික පරිසරයේ දී කණ්ඩායම් වශයෙන් වාසය කරන මොවුන් ගොදුරු අල්ලාගෙන කන උග්‍ර විලෝපිකයන්. ස්වභාවිකව රංචු වශයෙන් හිටියත් ටැංකි වල ඇතිකරද්දී රංචුවේ අයත් එක්කම ගැටුම් ඇතිකරගන්න අවස්ථා දකින්න පුළුවන්. 6ක් හෝ ඊට වැඩි රංචුවක් ඇතිකිරීම තමා සුදුසු. එහෙම නැතිනම් තනිව ඇතිකිරීම වඩා සුදුසුයි. මෙයාලට වඩා ප්‍රමාණයෙන් විශාල මසුන්ට උනත් පහර දෙන්න තරම් මෙයාල කලහකාරී දරුණු වෙන අවස්ථා තියෙනවා.

ටැංකියේ මත්ස්‍ය ගණත්වය වැඩි නම් හෝ පිහිනුම් අවකාශ අඩු නම් මොවුන්ට ආතතිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකත් මෙයාලගේ ආයු කාලය අඩු වෙන්න හේතුවක්.




ඇතිකිරීම ටැංකි සැකසීම හා නඩත්තුව.

මෙයාල ගෘහස්ත ටැංකි සඳහා නම් නිර්දේශ කරන්නේ නෑ. හොඳින් ඉඩකඩ ඇති ප්‍රදර්ශන ටැංකි හෝ මත්ස්‍යාගාර සඳහා සුදුසුයි. ඉතා හොඳ ඔක්සිජන් සැපයුමක් සහ පෙරහන් පද්ධතියක් සහිත අවම ගැලුම් 200ක වත් ටැංකියක් සැපයිය යුතුයි. බොහොමයක් විලෝපිකයන් වගේ මෙයාගෙත් අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නිසා කාර්යක්‍ෂම පෙරහන් පද්ධතියක් තිබීම බොහොම වැදගත්. වාෂ්පීකරණය නිසා ද ජලයේ ගුණාත්මකබව වෙනස් විය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. සතියකට වරක් 30% - 50% ක පමණ වතුර මාරු කිරීම සුදුසුයි. ඒ වගේම වතුරේ හොඳ වේගවත් සෙලවීමක් / ගලනයක් ඇතිකිරීම ත් අවශ්‍යයි.

හොඳ ක්‍රියාකාරී මත්ස්‍යයෙක් වෙන මෙයාට වැඩි පිහිනුම් අවකාශයක් අවශ්‍යයි. ටැංකිය අලංකරණයේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. අලංකරණ ද්‍රව්‍ය අවම ව භාවිතා කරන්න. පහුබහින්න හැකි ආකාරයේ පොඩි ගුහා, ලෙන්  වගේ නිර්මාණය කරන්න පුළුවන් නම් හොඳයි.


දීප්තිමත් ආලෝකය නිසා මොවුන් ආතතියට පත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ආලෝක තත්වයක් පවත්වාගන්න ගමන් තරමක් මඳ ආලෝකයක් ඇති ස්ථාන ත් පවත්වාගන්න. ඒ වගේම ටැංකිය තද පාට පේන්ට් හෝ ස්ටිකර භාවිතා කරලා අඳුරු පසුබිමක් හදාගන්න පුළුවන්. අවශ්‍ය ආකාරයේ හොඳ ආලෝක තත්වයක් පවත්වා ගැනීමෙන් මත්ස්‍යාගේ හොඳ වර්ණ පවතවාගන්න පුළුවන්.

ඒ වගේම තමා මෙයා භය උනාම හරිම කලබලකාරී හැසිරීමක් පෙන්වන කෙනෙක්. පහසුවෙන් භය වෙන නිසා ටැංකිය අසල නිස්කලංකව පවත්වාගන්න .කලබල උනාම වියරුවෙන් පලායන්න දරන උත්සාහයන් දී තමාටම තුවාල සිදුකරගත් අවස්ථා වාර්තා වෙනවා. සම්පුර්ණයෙන් වැසුන ශක්තිමත්  ටැංකියක් වෙන්න ඕනේ. ඒ වගේම තමා මෙයාට ඉක්මනින් ගොදුර හඹා යන්න ආධාර වෙන හොඳින් වර්ධනය උන ළය වරල් පිහිටලා තියෙනවා. ජලයෙන් පිටත ගොදුරකට උනත් උත්සාහ කරන්න පුළුවන්.

කලින් සඳහන් කළ ආකාරයට මෙයාලගේ මත්ස්‍යාගාර තුල ආයු කාලය කෙටියි. ඉතා විශාල ටැංකියක් තුල ස්වභාවික පරිසරයේ ආකාරයට රංචුවක් ඇතිකරන්න පුළුවන් නම් ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන් කියලයි විශ්වාසය.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.9-27.8 හා ph අගය 6.0-8.0 අතර පවත්වා ගැනීම හිතකර තත්ත්ව ලෙස සඳහන්.




ආහාර

කලින් සඳහන් කළා වගේ ගොදුරු අල්ලාගෙන කන උග්‍ර විලෝපිකයෙක්. මාංශ භක්ෂකයෙක්. ජීවී ආහාර තමා ප්‍රිය කරන්නේ . ඇතිකරනවා නම් ජීවී ආහාර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. කුඩා මාළු වර්ග, ගැඩවිලන් , කුනිස්සන් වගේ දේවල් දෙන්න පුළුවන්. මාංශමය ආහාර වලට හුරුකරගැනීමේ හැකියාවක් ඇතත් ආහාර ප්‍රතික්ෂේප කරන අවස්ථා ද වාර්තා වෙනවා. බොහෝ අවස්ථා වල ආහාර ප්‍රතික්ෂේප කරන මොවුන්ට විවිධත්වයකින් යුතුව ආහාර ලබාදිය යුතුයි.


බොහොමයක් විලෝපික මසුන්ට මෙන් ම මොවුන්ටත්  ආහාර සඳහා හරක් හදවත් , කුකුළු මස් වැනි ක්ෂීරපායි හෝ පක්ෂි මාංශ නොදිය යුතු අතර රෝග බෝවීමේ අවධානමක් ඇති මත්ස්‍ය පැටව් ලබා දීමත් නුසුදුසුයි.

අභිජනනය

ස්වභාවික පරිසරයෙන් පිටත දී අභිජනනය සිදු වූ බවට වාර්තා වී නැති අතර මොවුන්ගේ අභිජනනය පිලිබඳ විස්තරාත්මක තොරතුරු ද වාර්තා වෙන්නේ නෑ. කොහොම උනත් වැසි සමය ආරම්භයත් සමඟ නොවැම්බර් සහ අප්‍රේල් මාස අතර  මොවුන්ගේ අභිජනනය සිදු වන බවත් , ඒ සඳහා ඔවුන් ජලාශ, කුඩා ගංගා වල සිට විශාල ගංගා කරා බොහොම දුරක් උඩුගං බලා සංක්‍රමණය වන බවත් සඳහන්. ඒ පිලිබඳ ව වැඩි තොරතුරු සඳහන් නොවුනත් කුඩා පැටවුන් ජලගැලුම් වලට ලක් වූ කැලෑ ප්‍රදේශ සහ අතු ගංගා වලින් හමුවන බව යි සඳහන්. මේ චර්යා රටාව නිසාම මොවුන් කෘතීම පරිසරයන් හි දී අභිජනනය වීම සිදු නොවනවා ඇති.

                www.animalworld.com
                Wikipedia

©janakiecjoseph2018 


Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2