චන්නා පවුලේ චුටි හැඩකාරයා රේන්බෝ ස්නේක්හෙඩ්




Channa bleheri


සාමාන්‍ය ව්‍යවහාරයේ දී රේන්බෝ ස්නේක්හෙඩ් (Rainbow Snakehead), ස්මූත් බ්‍රෙස්ටඩ් ස්නේක්හෙඩ් (Smooth – Breasted Snakehead) සහ වෝකින් ස්නේක්හෙඩ් (Walking Snakehead) යන නම් වලින් හඳුන්වන  මොවුන් තුල තරමක් අසාමාන්‍ය ලක්ෂණ දැකිය හැකිය. ඇසෑම් ප්‍රදේශයේ දී ස්වදේශිකයන් සෙන්ගෙලි/ චෙන්ගෙලි යන නම් මොවුන් හැඳින්වීමට භාවිතා කරයි.  ඉතාමත් වර්ණවත් මොවුන් කුරු වර්ගයේ ( Dwarf ) ස්නේක්හෙඩ් මසුන් වන අතර ම ශ්‍රෝණි වරල ඌන වී ගිය මත්ස්‍යය චන්නා විශේෂ අතරින් එක් විශේෂයකි. ඒ වගේම මෙම රේන්බෝ ස්නේක්හෙඩ් විශේෂය උතුරු මියෙන්මාරයට ආවේණික Channa burumanica ට ඉතා කිට්ටු සමානකම් දක්වන බව සඳහන්. සෙන්ටි මීටර 14-17 ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන රේන්බෝ ස්නේක්හෙඩ් , චන්නා පවුලේ කුඩා ම සාමාජිකයන් අතරෙහි ලා සැලකේ. ඒ වගේම ලංකාවට ආනයනය කල මුල්ම චන්නා විශේෂයන්ගෙන් එකක් වෙන්නේ ත් මේ Channa blehri.

 වර්ෂ 1991 දී Virke විසින් මොවුන් නාමකරණය කර ඇති අතර ජර්මන් ජාතික මත්ස්‍යය විද්‍යාව සහ උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂකයකු, චායාරුප ශිල්පියෙකු, ගත් කතුවරයෙකු වගේම චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ Heiko Bleher මහතා ට ගරු කිරීමක් වශයෙන් Channa bleheri යන නාමය ලබා දී ඇත. ශරීරයේ වර්ණ අනුව නිල්, චොකලට් හා රේන්බෝ වශයෙන් bleheri මසුන් වර්ග කර තිබු අතර ඒ අතරින් Blue bleheri මසුන් වෙනස්ම විශේෂයක් බවට තක්සෝනමය වශයෙන් තහවුරු වූ අතර වර්ෂ 2013 එය Channa andrao ලෙසින් නාමකරනය කර ඇත. වර්තමානය වන විට විසිතුරු මසුන් ක්ෂේත්‍රයට මෙන්ම ආහාර සඳහා භාවිතය, කැලෑ එලි කිරීම නිසා වාසස්ථාන අහිමි වීම වගේම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් තර්ජනයට ලක් වී ඇති මත්ස්‍යය විශේෂයකි.

වාසස්ථාන සහ ව්‍යාප්තිය

රේන්බෝ ස්නේක්හෙඩ් යනු අසල්වැසි ඉන්දියාවේ ඊසානදිග අරුනාචල් සහ ඇසෑම් ප්‍රාන්ත වලට අයත් බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝනියට ආවේනික මත්ස්‍යය විශේෂයක් වන අතර අධික වර්ෂාපතනයක්, වැඩි ආර්ද්‍රතාවයක් වගේම ගිම්හාන කාලයේ දී උණුසුම් කාලගුණයක් ඇති  ඝර්මකලාපීය මෝසම් වැසි වනාන්තර පරිසරය මොවුන්ගේ වාසස්ථාන වේ. එවන් පරිසරයකින් යුතු කඳුකර දියපහර, පොකුණු , වගුරු පරිසරයන් හි දී මොවුන් ස්වභාවික ව හමු වේ.


මොවුන් විසින් මෝසම් වැසි සමයන් හි දී තාවකාලිකව ජලයෙන් යට වූ වන බිම් වල ශාක කඳන්, දිරන කොට හා ඉවුරු ආශ්‍රිතව බෙන නිර්මාණය කරගනු ලබයි. ශීත සෘතුවේ වියලි සමයන්හි දී දඩයම් කිරීම හා අභිජනනය සඳහා මේවා උපයෝගී කරගන්නා බවට සැලකේ.


ශරීර ලක්ෂණ

ශක්තිමත් දිගටි සිරුරක් සහ සර්පයකු ගේ වැනි පැතලි හිසකින් යුක්තය. කලින් ලිපියේ සඳහන් කර ආකාරයට මොවුන්ගේ හිසෙහි ද සර්පයන් සිහිගන්වන සුළු කොරපොතු පිහිටීම දක්නට හැකිය. අලංකාර නොකැඩී එක දිගට පිහිටි පෘෂ්ටීය සහ ගුද වරල් පිහිටයි. පුළුල් රවුම් හැඩැති ළය වරල් සහ වල්ගා වරල අග බීක්කු ආකාර ( scallop-shaped) වේ.


කුඩා කාලයේ දී කහ පැහැති සිරුරින් යුත් මොවුන් ශරීර වර්ණ වශයෙන් ගත් කල විවිධත්වයක් ගන්නා අතර හිස සහ ශරීරය  මුලිකව තද ඔලිව් පැහැය, හිරියල් රතු සහ නීල වර්ණ වලින් යුතු අපුරු වර්ණරටාවකින් මොවුන් හැඩ වී ඇත. ජාලයක් ලෙස පැතිරුණ  දුඹුරු-තැඹිලි පැහැයක් ගන්නා කොරපොතු ශරීරයේ දැකිය හැකිය. ළය වරල සහ වල්ගා වරල පැහැදිලිව පෙනෙන කළු සහ තැඹිලි පැහැ වර්ණ රටාවකින් යුක්තය. පෘෂ්ටීය හා ගුද වරල් හොඳින් පෙනෙන නීල වර්ණයකින් යුතු අතර ඒවායේ දාර රතු-දුඹුරු වර්ණයක් ගනී.පෘෂ්ටීය වරලේ මුල සිට දාරය තෙක් ක්‍රමානුකුලව ඇල අත‍ට පිහිටි රතු-දුඹුරු වර්ණ තීරු වලින් යුතු අලංකාර රටාවක් දැකිය හැකිය. වර්ණ හා වර්ණ රටා බාල අවධියේ දී වඩා තීව්‍ර ව දැකිය හැකි අතර එය ජීවිත කාලය පුරාවටම ක්‍රමිකව විකාශනය වේ.

ගති ලක්ෂණ


කළහකාරී හැසිරීමක් පෙන්වන මත්ස්‍යය විශේෂයක් වගේම අනෙක් සතුන් ගොදුරු කරගැනීමට උපතින්ම ඇති හුරුව නිසා යුගලක් හෝ  එකම විශේෂයේ මසුන් එකට ඇති කිරීම වඩාත් සුදුසු වේ. එහෙත් ගොදුරු කර ගැනීමට අපහසු තරමේ ශරීර ප්‍රමාන වලින් යුතු  වගේම වේගයෙන් පිහිනන  මසුන්  වර්ග සමඟ සාර්ථකව කොමියුනිටි ටැංකියක් පවත්වා ගැනීමේ හැකියාව ඇත.


කුඩා අවධියේ දී සාමාකාමී ව විසුවත් ලිංගිකව පරිණත වීමත් සමඟ එකම රංචුවේ වුවද අනෙක් මසුන් සමඟ කලහකාරීව හැසිරෙන අවස්ථා දැකිය හැකිය. වැඩුණු මසුන් දෙදෙනෙකු යුගලනය වූ විට දී ඔවුන් දෙදෙනා ආදරෙන් සිටියත් අනෙක් මසුන් කෙරෙහි දරුණු විය හැකිය.



ආහාර


ස්වභාවික පරිසරයේ දී කුඩා මසුන් හා කෘමීන් ගොදුරු කරගන්නා උග්‍ර විලෝපිකයන් වන මොවුන් කෑමට කෑදරකමක් දක්වන මසුන් විශේෂයක්. ගෘහස්තව ඇති කිරීමේ දී ආදේශක ලෙස  බ්ලඩ් වෝර්ම්ස්, කුඩා ක්රස්ටේසියාවන්, බෙල්ලන්, ඉස්සන්, ටියුබිෆෙක්ස් පනුවන්, මදුරු කීටයන් වැනි ආහාර වගේම  කැපු මාළු, කුනිස්සන් , මිනිස් ආහාර ලෙසත් ගන්නා මට්ටියන් හා ජලජ ජීවින් නොවන කැරපොත්තන් , ගැඩවිල් පනුවන් ආදිය ද ආහාරයට ලබාදිය හැකිය . දියේ ගිලෙනාකාරයට සැකසු pellets වර්ග වලට ද හුරු කරගැනීමේ හැකියාව ඇති නමුත් සෑම විටම විවිධත්වයෙන් යුතුව ආහාර සැපයීම කල යුතුයි. දිනකට එක් වරක් ආහාර ලබාදීම ප්‍රමාණවත්ය.

මොවුන්ට ලිපිඩ වර්ග  අඩංගු ගව හදවත්, කුකුළු මස් වැනි ක්ෂීරපායි හෝ පක්ෂි මාංශ කිසි විටකත් ලබා නොදිය යුතුය. මසුන්ගේ සිරුරේ අනවශ්‍ය මේද තැන්පත් වීම, ජීර්ණ අපහසුතා නිසා රෝගී වීම හා අවයවයන්ට හානි සිදු වීම වැනි අහිතකර තත්වයන් සඳහා එම අනවශ්‍ය ලිපිඩ වර්ග හේතු වේ. ඒ වගේම මොවුන්ට ජීවී මසුන් ආහාරයට දීමෙන් විශේෂ ප්‍රතිලාභයක් නොවන අතර ඒ මගින් ද රෝග සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතී.

ගෘහස්ථව ඇති කිරීම හා නඩත්තුව

ගෘහස්තව ඇති කිරීම ඉතා අපහසු නොවුනත් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරා දීම ඉතා වැදගත් ය. තනි මසෙකු නම් ගැලුන් 65ක පමණ ටැංකියක් ද දෙදෙනෙකු හෝ ඊට වැඩි නම් ගැලුන් 100 හෝ ඊට වඩා විශාල චතුරශ්‍රාකාර ටැංකියක් ලබා දීම සුදුසුය. ටැංකියේ ගැඹුර එතරම් බලපාන කරුණක් නොවුවත් එය අවම වශයෙන් සෙන්ටි මීටර 30 හෝ ඊට වැඩි වන ලෙස සකස් කිරීම වැදගත් ය.

හොඳ පිරිසිදු ජලය ලබා දිය යුතු අතර ජලයේ ගුණාත්මක භාවය ඒකාකාර ව පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මොවුන් ජලයේ වෙනස් වීම් වලට ඉතා සංවේදී වීම ඊට හේතු වේ.

කොට කැබලි , ගල්, ශාක වර්ග ආදිය භාවිතයෙන් මොවුන්ට සැඟවී සිටීමට හැකි අඳුරු , ගුහා වැනි ස්ථාන සහිතව ටැංකි අලංකරණය සිදු කිරීම සුදුසුය. වැඩි වෙලාවක් පතුලේ ගත කරන මොවුන් ගොදුරු අල්ලා ගැනීමේ අරමුණින් සැඟවී සිටීයි. මඳ ආලෝක තත්වයක් සැපයිය යුතු අතර පාවෙන ශාක වර්ග භාවිතයෙන් පහසුවෙන් ටැංකියේ ආලෝක තත්වය පාලනය කරගැනීම කල හැකිය. මුලින් චන්නා විශේෂය ගැන ලිපියේ සඳහන් වූ පරිදි මොවුන් කරමල් ආධාරයෙන් වගේම විශේෂිත වායු ශ්වසන අවයවය මගින් ද ශ්වසනය සිදු කරන බැවින් ටැංකියේ ඉහල වාතයට නිරාවරණය වන පරිදි අඟල් කිහිපයක් උසට හිස්  අවකාශ සහිතව සකස් කළ යුතුය. පලායාමට අවකාශ ඇති නොවන ලෙසට හොඳින් වැසුණු ටැංකියක් වීම ඉතා වැදගත් ය.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 14-28  හා ph අගය 6.0-8.0 අතර පවත්වා ගැනීම හිතරකර තත්ත්ව වේ. උෂ්ණත්වය වසර පුරා ප්‍රශස්ත මට්ටමක නොව සෘතුමය වෙනස් වීම් වලට අනුකුලව පාලනය කිරීම වැදගත් ය. ශීත සමයේ දී ආහාර සැපයුම අඩු කල යුතු අතර ඒ හේතුවෙන් ජලය මාරු කිරීම් ද අඩු කරගත හැකිය.

ලිංග නිර්ණය සහ අභිජනනය.

ගැහැණු මත්ස්‍යයා ට සාපෙක්ෂය්ව පිරිමි මත්ස්‍යය සිහින් දිගටි සිරුරක් දරණ අතර වර්ණවත් බැවින් ද වැඩි ය. එහෙත් අභිජනන සමය වනවිට ගැහැණු මත්ස්‍යයා ද වර්ණවත් බැවින් තීව්‍ර වේ. ලින්ක්ගිකව පරිණත වීමත් සමඟ පිරිමි මත්ස්‍යා ගේ පෘෂ්ටීය වරලේ අපර කෙළවරේ තද කළු පැහැති ලපයක් දක්නට ලැබේ.හිසෙහි හැඩය සැලකීමේ දී පිරිමි සත්වයා ගේ හිස රවුම් හැඩයක් ගන්නා අතර ගැහැණු සත්වයාගේ හිස සාපේක්ෂය පුළුල් බැවින් වැඩිය.


ඉහත සඳහන් කර ආකාරයට ස්වභාවික පරිසරයේ දී මොවුන් සදා ගන්නා ගුහා ආශ්‍රිතව අභිජනනය සිදු කරන අතර බිත්තර වලින් පැටවුන් බිහි වූ පසු මව හා පියා දෙදෙනාම විසින් පැටවුන් රැකබලා ගනියි. ඉතා හොඳ මාපිය ආරක්ෂාවක් ලබා දෙන මත්ස්‍ය වර්ගයක් ලෙස ද සඳහන් කල හැකිය.

ස්වභාවික පරිසරයෙන් පිටත දී ත් අභිජනනය සිදු වූ බවට වාර්තා ඇති අතර ඒ සඳහා ඉතා සැලකිලිමත් ව අවශ්‍ය උෂ්ණත්වය, ජලයේ ගුණාත්මක බව ආදී සාධකයන් සපයා දීම අත්‍යවශ්‍ය වේ.

වෙනත්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම මසුන් හෝ ඔවුන්ගේ බිත්තර ආනයන හා රට තුල විකිණීම තහනම් කර ඇත්තේ විලෝපිකයන් වන මොවුන්ගෙන් ස්වදේශී මත්ස්‍ය විශේෂ වලට ඇති විය හැකි තර්ජන සැලකීමෙනි. විශේෂයෙන් ඇසෑම් ප්‍රදේශයට සමාන කාලගුණික තත්ත්ව ඇති ටෙක්සාස්, ෆ්ලොරිඩා හා හවායි ප්‍රාන්තයන් හි මොවුන්ට ඉතා හිතකර පරිසරයක් ඇති බැවින් ඔවුන් මේ තීරණය ගෙන ඇති බව සඳහන්.
ලංකාවේ මේ සම්බන්ධයෙන් නීතිමය බාධා නැතත් කිසිදු විදේශික මත්ස්‍යයෙක් ස්වභාවික පරිසර පද්ධති හා මුසු නොවන ලෙස රැක බලා ගැනීම අපි කාගේත් වගකීමක්.

©geethgunasekara20181007

Reference : 
R Gogoi, S Behera, BC Borah, S Bhuyan - The Bioscan, 2013 - thebioscan.in


Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2