Channa පවුල ගැන දැනගනිමු.





Channa එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවයාරයෙන් ස්නේක් හෙඩ් කියලා හඳුන්වන මෙයාල Channidae කුලයේ දිගු ඉතිහාසයකට උරුම කම් කියන ආදී කල්පික මසුන් කාණ්ඩයක්. මුල් කාලීනව මොවුන් Perciformes ගෝත්‍රයට අයත් වන්නන් ලෙස සැලකුනත් පසු කාලීන ව කරන ලද ප්‍රවේණිය පිලිබඳ අණුක විද්‍යාත්මක අධ්‍යනයන් වලින් පැහැදිලි වී ඇත්තේ මොවුන් වඩාත්ම කිට්ටු ඥාතීත්වයක් දක්වන්නේ  ශ්වසන අවයවයක් මගින් වායුගෝලයේ ඔක්සිජන් ලබාගත හැකි , අස්ථිමය හෝ දෘඩ කටු වැනි දාර සහිත වරල් දරන මත්ස්‍යයන් අයත් වන Anabantoids ගෝත්‍රයට බවයි. ඒ වගේම Spiny eel මසුන් අයත් වන Synbranciformes ගෝත්‍රයට ද මොවුන්ගේ කිට්ටු සබඳතා ඇති බවට හෙළි වී ඇත.

Channa ගණයට දැනට හඳුනාගත් නාමකරණය කරන ලද විශේෂ 36ක් පමණ අයත් වේ. ජෛව භූ විද්‍යාත්මකව ගත් කල  ආසියාවේ පුළුල් ව්‍යාප්තියක් දැකිය හැකි අතර මොවුන් ගිනිකොණදිග ඉරානය, නැගෙනහිර ඇෆ්ගනිස්ථානය, පකිස්තානය , ඉන්දියාව, දකුණු නේපාලය, බංග්ලාදේශය, මියෙන්මාරය, තායිලන්තය , ලාඕසය, මලයාසියාව, සුමාත්‍රා, ඉන්දුනීසියාව, වියට්නාමය, කොරියාව සහ චීනය වගේම  සයිබීරියාව නිජබිම් කොට ගෙන වාසය කරයි.

Channa ගණයට ඉතාම කිට්ටු විශේෂයන් තුනක් සහිත මත්ස්‍ය ගණයක් අප්‍රිකානු ප්‍රදේශයේ වාසය කරන අතර එය Parachanna නම් වේ.



Channa ගණයේ සාමාජිකයන් විශේෂ වශයෙන් ගත් කල විවිධ ශරීර ප්‍රමාණයන් ගෙන් යුතු වේ. සෙන්ටි මීටර 25ක් පමණ හෝ ඊට කුඩා ව වැඩෙන විශේෂ Dwarf Snake head එනම් කුරු ස්නේක් හෙඩ් විශේෂ ලෙස හඳුන්වනු ලැබේ. Channa bleheri, Channa gachua , Channa orientalis සහ Channa andrao වැනි විශේෂ මෙම කුරු කාණ්ඩයට අයත් වේ.


බොහොමයක් විශේෂ සෙන්ටිමීටර 30-90 අතර උපරිම වර්ධනයක් පෙන්වන අතර මොවුන් හැසිරීම් රටා අනුවත් විවිධත්වයකින් යුතු යි. ඇතැමුන් කුරු විශේෂ හා සමානකම් දක්වන අතර තවත් සමහරෙක් විශාල මොන්ස්ටර් වර්ගයේ මසුන්ට සමානකම් දක්වයි.

මෙම ගණයේ විශේෂ පහක් එනම් Channa argus, Channa barca, Channa marulius, Channa micropetes සහ Channa striata සෙන්ටි මිටර 100 ට වඩා වැඩි උපරිම වර්ධනයක් පෙන්වන අතර මොවුන් මොන්ස්ටර් ගනයේ ලා සැලකේ.


සම්භවය.

චන්නා ගණයේ පැරණිතම ෆොසිලය අදින් වසර මිලියන 50ක් දක්වා ඈතට විහිදෙන අතර එය හමු වී ඇත්තේ දකුණු හිමාලයෙනි. වසර මිලියන 15 කට පමණ පෙර සිදු නිවර්තන කලාපීය කාලගුණික කලාපයේ පැතිරීමත්  සමග මොවුන් ආසියාව පුරා ව්‍යාප්ත වූ බවට සැලකේ.



කාය ලක්ෂණ


චන්නා මසුන්ගේ සිරුර දිගටි හැඩයක් ගන්නා අතර , දිගු පෘෂ්ටීය වරල් , සහ  දත් සහිත විශාල මුඛයක් හිමි යි. මොවුන්ට ස්නේක් හෙඩ් යන නම ලැබී ඇත්තේ හිසෙහි පැතලි ස්වරුපය සහ සර්පයින්ගේ හිසෙහි පිහිටා ඇති අපිචර්මීය කොරල සිහිගන්වන ලෙසට මසුන්ගේ  හිසෙහි පිහිටා ඇති විශාල කොරපොතු හේතුවෙනි.

අනෙකුත් බොහොමයක් මසුන්ට මෙන්ම මොවුන්ටද කරමල පිහිටා ඇත. ඊට අමතරව වර්ධනයෙන් පරිණත හා පරිණතියට ආසන්න වූ  මසුන්ට අවශ්‍යතාව පරිදි වායුගෝලයේ ඇති ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාවක් ඇත. වායුගෝලීය ඔක්සිජන් ලබා ගන්නා මොවුන්ට ඒ සඳහා හොඳ මතුපිට වාතාශ්‍රයක් පැවතිය යුතු අතර වායුගෝලීය ශ්වසනය ට බාධා ඇතිවූ විටක දී මොවුන් දියේ ගිලී මිය යාමේ හැකියාවක් පවතී.

ශ්වසනය සඳහා මොවුන්ගේ හිසෙහි පසුපස කොටසින් මතුපිටට විවර කිහිපයක් පිහිටා ඇති අතර ඒ හා සම්බන්ධ වන Suprabranchial Organ නම් ශ්වසන අවයවයක් පිහිටයි. කරමල් වලට ඉහලින් පිහිටා ඇති මෙය පරිනාමයේ මුලික කාල වකවානුවේ දී ඇති වූ ආදී කල්පික අවයවයක් ලෙස හඳුන්වයි. හැකිලී පවතින පටක වලින් යුතු මෙහි මතුපිට ප්‍රමාණය ඉතා විශාල වන අතර ඒ මගින් වාතය හා රුධිරය අතර ඔක්සිජන් හුවමාරුව සිදු වේ. ක්ශීරපායින්ගේ මෙන් මහා ප්‍රාචීර පෙෂියක් නොමැති මොවුන් හුස්ම ගන්නා සෑම විටම නැවුම් වාතාශ්‍රය සමග පරණ වාතය හුවමාරු කිරීමට ජලය භාවිතා කරයි . වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව ඇතත් මොවුන්ට ජලයෙන් පිටත සිටිය හැකි කාලය සීමිතය. මොවුන් පිහිනන අතරතුර ශ්වසනය සඳහා ජල මතුපිටට පැමිණේ.


අප්‍රිකාවේ වසන Parachanna ගණය Channa ගණයෙන් වෙනස් වෙන්නේ ඔවුන්ට මීටත් වඩා ප්‍රාථමික වායු ශ්වසන අවයවයක් පිහිටීමෙන්.

වායුගෝලීය ශ්වසන හැකියාව නිසා ස්නේක් හෙඩ් මසුන්ට ගොඩබිම හරහා කෙටි දුරක් ගමන් කර වෙනත් වාසස්ථානයක් සොයාගැනීමේ හැකියාවක් පවතී. ගොඩබිම හරහා ගමන් කිරීමේ දී මොවුන් ඉදිරියට ගමන් කිරීමට ශක්තිමත් ඇදීමකට පෙර සිරුර S හැඩයට වකුටු කරගනු දැකිය හැකිය. ආර්ද්‍රතාවය ඉහල අවස්තාවන් වල දී මොවුන්ට දින 2-4 ක් පමණ ජලය නොමැතිව දිවි රැකගත හැකිය. එසේ වුවත් සෘජුවම හිරු එලියට නිරාවරණය වුවහොත් මොවුන්ගේ තෙතමනය ඉතා ඉක්මනින් සිඳෙන අතර විනාඩි ගණනක් තුල වුව මරණයට පත් විය හැකිය .

Channa යනු විවිධ වූ ජල තත්ත්ව වල වාසය කල හැකි මත්ස්‍යය ගණයකි. ඇතැම් විශේෂ අර්ධ නිවර්තන කාලගුණික කලාප වලට සීමා වී ඇති අතර මොවුන්ගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා මොවුන්ට අවම වශයෙන් සෘතුමය ලෙස හෝ සීත ජල තත්වයක් ද අවශ්‍ය වේ. බොහොමයක් චන්නා විශේෂ පුළුල් පරාසයක ජල පරාමිතීන් (ph, උෂ්ණත්වය, ඔක්සිජන් මට්ටම වැනි ) දරාගත හැකි මසුන් වුවත් ක්ෂණික වෙනස් වීම් වලට ඉතා සංවේදී වේ.

©geethgunasekara20181007



 

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2