ටැංකිය හැඩකරන හාර්ලික්වීන් රැස්බොරා

Harlequin Rasbora (Trigonostigma heteromorpha)



හැමෝම හඳුනන කාර්ප්
, මිනෝව්ස්, බාර්බ් වර්ග අයත් වන, විශාලතම හා විවිධත්වයෙන් වැඩිම මත්ස්‍ය කුලය වන  සිප්‍රිනිඩේ (Cyprinidae) කුලයට අයත් වන හාර්ලික්වින් රැස්බොරා ඉතා අලංකාර කුඩා මත්ස්‍යයෙකි. රංචු වශයෙන් ජීවත් වන අලංකාර සාමකාමී මත්ස්‍යය විශේෂයක් නිසා ම මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය මොවුන් වර්ෂ 1904 දී නම්කර ඇත්තේ Duncker විසිනි. වර්ෂ 1936 පමණ සිට මෙම මසුන් විසිතුරු මසුන් ව්‍යාපාර සඳහා භාවිතා වී ඇති අතර වර්තමානය වන විට විසිතුරු මත්ස්‍යය කර්මාන්තය සඳහාම නව අලංකාර විශේෂ කිහිපයක් ද හඳුන්වා දී ඇත. Trigonostigma ගණයට අයත් අනෙක් විශේෂ වලට වඩා වෙනස් හැඩයක් ගැනීම පදනම් කරගෙන නාමකරණයේ දී ග්‍රීක බසින් වෙනස් හැඩැති යන අරුත ගෙන දෙන heteromorpha යන වදන යොදාගෙන ඇති අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හාර්ලික්වීන් ලෙස නම් කර ඇත්තේ සිරුරේ ඇති කළුපැහැති වර්ණ සලකුණ පදනම් කරගෙන ය. එනම් එම සලකුණ ඉතාලියානු නාට්‍ය සම්ප්‍රදායක් වන Commedia dell’arte හි එන හාර්ලික්වීන් නම් චරිතයේ ඇඳුමේ ඇති වර්ණරටාව ට සමානකමක් දක්වයි. Harlequin Rasbora යන නම හැරුණු විට Rasbora, Harlequin, Harlequin Fish, Red Rasbora
ආදී වූ නම් ද සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා කරනු ලැබේ.
Harlequin

හාර්ලික්වින් හැරුණු කොට Trigonostigma ගණයට අයත් වන තවත් මත්ස්‍යය විශේෂ තුනක් හඳුනාගෙන ඇත.

Trigonostigma espei / Lambchop Rasbora (Meinken, 1967)


 Trigonostigma hengeli / Glowlight Rasbora (Meinken, 1956)
1 
Trigonostigma somphongsi / Somphongs’s Rasbora (Meinken, 1958)

හාර්ලික්වින් රැස්බොරා ගේ මුලික වර්ණය රෝස වන් පැහැයක් වන අතර අනෙකුත් විශේෂ තුනට සාපේක්ෂව උසින් වැඩිම ශරීර හැඩයක් හිමි වේ. ඒ හැරුණු කොට සිරුරේ ඇති වර්ණ සලකුණ අනෙක් විශේෂයන්ට වඩා පුළුල් හා වර්ණ තීව්‍රතාවය වැඩි ය.

Lambchop Shape
ලෑම්බ්චොප්  රැස්බොරා හෙවත් T.espei සාමාන්‍යයෙන් දීප්තිමත් තඹ/රතු පැහැයකින් යුතු අතර සිරුර සිහින් ය. සිරුරේ පිහිටි වර්ණ ලපය කැපු බැටළු මස් කැබැල්ලක හැඩය ගන්නා නිසා ලෑම්බ්චොප් රැස්බොරා යන නාමය ලැබී ඇත.

ග්ලෝලයිට් රැස්බොරා තරමක් කුඩා වන අතර ශරීර වර්ණය අවර්ණ / අළුවන් පැහැයක් ගන්නා අතර වර්ණ සලකුණේ ඉහල හා ඉදිරි දාරයන් දීප්තිමත් තැඹිලි පැහැයකින් යුක්ත වේ.

ඉතා දුර්ලභ විශේෂයක් ලෙස සැලකෙන T. somphongsi ඔවුන්ගේ තද පැහැති ශරීර සලකුණ තද ඉරක් දක්වා අඩු වී ඇති බැවින් පහසුවෙන් හඳුනාගත හැකිය.

වර්ෂ 1999 දී M.Kottelat සහ K.E. Witte විසින් Trigonostigma ගණය විශාල කාණ්ඩයක් වූ Rasbora පවුලෙන්  වෙන්කර ගෙන ඇති අතර ඒ සඳහා ශරීර ලක්ෂණ කිහිපයක් පදනම් කරගෙන ඇත. එනම් ,

·  වර්ණරටා සැලකීමේ දී ශරීරය රතු, රෝස, තැඹිලි වන් වර්ණ වලින් යුක්ත වීම සහ පෘෂ්ටීය වරලට පහලින් ආරම්භ ව වල්ගා වරලේ මධ්‍යය දක්වා දිවෙන පුර්ව භාගයේ දී පුළුල් වූ ත් පසු භාගයේ දී සිහින් වූ ත් ත්‍රිකෝණාකාර හෝ කෙටේරි හැඩැති කැපී පෙනෙන කළු වර්ණ සලකුණකින් යුතු වීම. ( T. somphongsi විශේෂයේ පමණක් මෙම වර්ණ සලකුණ තනි ඉරක් ආකාරයට පිහිටයි.
·  අභිජනනයේ දී බිජු පළල් පත්‍ර යට  හෝ සමාන පෘෂ්ටයක තැන්පත් කිරීම.

ශරීරයේ පිහිටි සළකුණ පදනම් කරගෙන ග්‍රීක වදන් උපයෝගී කරගෙන ගණ නාමය ලබා දී ඇති අතර අරුත් සැලකු විට පහතාකාර වේ.

Trigonostigma: 
Greek, tres, tria = three + Greek, gonias= angle, corner + Greek stigma = signal.

මෙය සරලව අරුත්ගැන්වීමේ දී ත්‍රිකෝණාකාර සලකුණක් සහිත යන අරුතක් ගනී.

ව්‍යාප්තිය

මෙම සුන්දර මත්ස්‍යයන්ගේ නිජබිම් වන්නේ දකුණු තායිලන්තය, මැලේසියානු අර්ධද්වීපය, සිංගප්පුරුව, හා Greater Sunda දුපත් හතරෙන් දෙකක් වන බෝනියෝ සහ සුමාත්‍රානු දුපත් ප්‍රදේශයන් ය.

තායිලන්තයේ මස්ත්‍යය ගහනය මලයාසියානු අර්ධද්වීප මායිම ට ආසන්නව පිහිටි Narathiwat ප්‍රදේශයට සීමාවී ඇති අතර මලයාසියානු අර්ධද්වීපය තුල Selangor, Kelantan, Terengganu, Pahang සහ Johor ප්‍රදේශ වල ඇති Peat swamp forest ආශ්‍රිතව පුළුල් ව්‍යාප්තියක් දැකිය හැකිය.


සිංගප්පුරු දිවයිනේ මධ්‍ය ජලාධාර ප්‍රදේශයේ පවතින අවසාන නොකිලිටි මිරිදිය වගුරු වනාන්තරය ලෙස සැලකෙන Nee Soon වගුරු ප්‍රදේශයේ හාර්ලික්වින් මසුන් ව්‍යාප්තව ඇත.

මෙම මසුන් හමුවන ප්‍රදේශය අනුව යම් යම් වෙනස්කම් නිරීක්ෂණය කල හැකිය. උදාහරණ ලෙස සිංගප්පුරුව සහ Sunda දුපත් වල වසන මසුන්  Johor හා දකුණු තායිලන්තයෙන් හමුවන මසුන්ට වඩා  ප්‍රමාණයෙන් කුඩා සහ පැතලි සිහින් බවින් යුක්ත ය.

වර්තමානය වන විට විසිතුරු මසුන් ක්ෂේත්‍රය සඳහා ස්වභාවික පරිසරයෙන් අල්ලාගන්නා මසුන් යොදා නොගන්නා අතර තෝරාගෙන අභිජනනය කිරීමෙන් නව අලංකාර විශේෂ ද හඳුන්වා දී ඇත.

වාසස්ථාන

Cryptocoryne වැනි ඝනව වැඩුනු ශාක සහිත සෙමෙන් ගලායන ජලය සහිත වනාශ්‍රිත දිය පාරවල් හා අතු ගංගාවන් මොවුන් ගේ වාසස්ථාන වේ. ඇතැම්විට මෙම ජලය කහට වර්ග හෝ දිරායන කාබනික ද්‍රව්‍ය මගින් නිකුත් වන රසායනික නිසා ලා දුඹුරු/ කහ වර්ණ වන අතර පතුල විසිරී ගිය වැටුණු ශාක පත්‍ර, දිරා යන කොට ආදියෙන් යුක්තය. මෙම පරිසර තත්ව ස්වභාවයෙන්ම ජලයට මඳ ආම්ලිකතාවයක් එක්කරන අතර ඉවුරු දියේ ඇති ඝන වනස්තරයේ වියන හේතුවෙන් මඳ ආලෝකයකින් යුතු වේ.

ශරීර ස්වභාවය සහ ගති ලක්ෂණ

මි.මි. 35-45 ක් පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන් රංචු ලෙස ජීවත් වන්නන්. අවම වශයෙන් මසුන් 8-10ක පමණ කාණ්ඩයක් වත් එකට ඇතිකළ යුතු වේ. එමගින් ඔවුන්ගේ නියම හැසිරීම් රටා නිරීක්ෂණය කල හැකි මෙන්ම ටැංකියට ද අපුරු අලංකාරයක් එකතු වේ. තවද පිරිමි සතුන් ගැහැණු සතුන් ගේ ආකර්ෂණය දිනාගැනීමට ඉතා හොඳ වර්ණ පෙන්වයි. වසර 5-6ක් පමණ වන උපරිම ආයුකාලයක් ගතකරයි.


ගති ලක්ෂණ පිළිබඳව සැලකීමේ දී මොවුන් ඉතා සාමකාමී මත්ස්‍යය විශේෂයක් වන අතර අනෙකුත් මසුන් සමඟ සාමුහික ටැංකියක් සඳහා ඉතා සුදුසු විශේෂයකි. කුඩා සිප්‍රිනිඩ් වර්ග, කුඩා ටෙට්‍රා වර්ග , කුඩා සික්ලිඩ් වර්ග වගේම ලෝච් වර්ග මොවුන් හා එකට ඇතිකිරීම ට නිර්දේශ කල හැකිය. නමුත් මොවුන්ව ගොදුරු කරනොගන්නා හා මොවුන්ට හානිදායක නොවන මසුන් වර්ග තෝරා ගැනීමට වගබලා ගත යුතුය.


ගෘහස්ථව ඇතිකිරීම සහ නඩත්තුව.

අවම වශයෙන් සෙ.මි.60 x 30 ප්‍රමාණයේ හෝ ඊට වඩා විශාල ටැංකියක් මොවුන් සඳහා සුදුසු වන අතර තද පැහැති පතුලක් සහිතව අලංකරණය කටයුතු කල විට මසුන්ගේ අලංකාරය මනාව දිස් වේ. වැලි , ශාක මුල්, අතු ආදිය භාවිතයෙන් වඩාත් ස්වභාවික පෙනුමක් සහිත ලෙස ටැංකිය සකසා ගත හැකි අතර ඒ සඳහා සජීවී ජලජ ශාක ද  යොදා ගත හැකිය. ක්‍රියාකාරී මසුන් කාණ්ඩයක් වන මොවුන්ට පිහිනීමට අවකාශය තිබිය යුතු අතර තද වැස්මක් ටැංකියක් විය යුතුය.


අලංකරණ කටයුතු කිරීමේ දී ආලෝක පාලනය පිළිබඳව අවධානය යොමු කල යුතු අතර ගුහා වැනි අවකාශ නිර්මාණයෙන් හෝ ශාක භාවිතයෙන් සෙවන ලැබෙන තැන් නිර්මාණය කරගත යුතුය. ඒ හැරුණු විට පතුල ට දිරායන ශාක පත්‍ර එකතු කිරීමෙන් ටැංකියට වඩාත් ස්වභාවික පෙනුමක් ලබාගත හැකි අතර ඒවා දිරා යාමේදී ඇතිවන ක්ෂුද්‍ර ජීවී කොලනි ඇති වීම අමතර වාසියකි. මේවා කුඩා පැටවුන් සඳහා ඉතා හොඳ ආහාරයක් වන අතර ම ශාක පත්‍ර දිරාපත් වීමේ දී නිකුත් වන වර්ණක හා රසායන මගින් මසුන්ට හිතකර  blackwater පරිසර තත්වයක් නිර්මාණය වේ. සාමාන්‍යයෙන් මසකට වරක් 20%-25% ක් පමණ ජලය මාරු කිරීම ප්‍රමාණවත් වුවත්, මසුන් ඝනත්වය වැඩි ටැංකියක් නම් සතියකට වරක් ජලය මාරු කිරීම කල යුතුය.

මඳ ආලෝක තත්ත්ව ප්‍රියකරන මොවුන් සිටිනා ටැංකියට එම තත්ත්ව යටතේ වර්ධනය වන Microsorum, Taxiphyllum, Cryptocoryne හා Anubias වර්ග වල ශාක සුදුසු වේ. පාවෙන ශාක වර්ග යොදා ගැනීමෙන් ආලෝක තත්වය පාලනය කර ගැනීම ද සිදු කල හැකිය.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-28 , Ph අගය 5.0-7.5 සහ දෘඩතාවය 18-215 ppm පවත්වා ගැනීම මොවුන් සඳහා හිතකර තත්ත්ව වේ.

ආහාර

ස්වභාවික පරිසරයේ ජීවත් වූ මසුන් නියැදියක උදර විශ්ලේෂණයෙන් මොවුන් කුඩා කෘමීන්, පනුවන් , ක්‍රස්ටේසියාවන් හා සත්ත්ව ප්ලවාංග ආදිය ආහාරයට ගන්නා කුඩා විලෝපිකයන් පිරිසක් බවට අනාවරණය වී ඇත. ඒ අනුව ගෘහස්ථව ඇතිකිරීමේ දී ආහාර ලෙස සජීවී හෝ ශීත කල Bloodworm, Daphnia සහ Artemia මෙන්ම හොඳ තත්වයේ flakes සහ granules ලබා දිය හැකිය. ගුණාත්මක අහාර ලබා දීම සෞඛ්‍ය සම්පන්න වර්ණවත් මසුන් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දිනකට වරක් හෝ දෙවරක් ආහාර ලබා දීම ප්‍රමාණවත් ය.

ලිංග නිර්ණය සහ අභිජනනය

ලිංගිකව පරිණත වූ විට ගැහැණු මසුන් රවුම් බඳක් සහිතව දිස් වන අතර ඔවුන් පිරිමි සතුන්ට වඩා පෘෂ්ටිමත් ස්වභාවයකින් යුතු ය. ගැහැණු සතුන් ට වඩා කෙසඟ පිරිමි සතුන් වර්ණවත් බැවින් වැඩිය.

අභිජනනයේ දී මොවුන් පුළුල් පත්‍ර වල යටි පැත්තේ හෝ වෙනත් රළු මතුපිටක බිත්තර ඇලවීම සිදු කරන අතර හොඳින් ශාක ඇති ටැංකියක ඉතා පහසුවෙන් බෝවී සිටිනු දැකිය හැකිය.

ලෙඩ රෝග

හොඳින් ඔරොත්තු දෙන මත්ස්‍යය විශේෂයක් නිසා ආධුනියන්ට වුවද නිර්දේශ කරන හාර්ලික්වීන් නිතර ලෙඩ රෝග වැළඳෙන මත්ස්‍යයෙකු නොවේ. හොඳින් නඩත්තු කරන ටැංකියක සෞඛ්‍ය සම්පන්නව දිගු කලක් ජීවත් වේ. අවශ්‍ය සාධක නොලැබෙන්නේ නම් රෝග වලට ගොදුරු විය හැකි අතර Dropsy , Fin rot හා Ich එවන් තත්ත්ව යටතේ මොවුන් අතර දැකිය හැකි රෝග තත්වයන් ය. ටැංකියට බාහිරින් එකතු කරන දෑ නිරෝධායනයට ලක් කිරීමෙන් පිටතින් පැමිණෙන රෝගාදිය වලක්වා ගත හැකිය.

©janakiecjoseph2019

References:

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2