අලංකාර නපුරෙක්, අප්‍රිකානු ටයිගර් මසුන් ගැන දැනගනිමු...



 African Tiger Fish (Hydrocynus vittatus)



වර්ෂ 1861 දී ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Francis de Laporte de Castelnau විසින් නාමකරණය කරන ලද අප්‍රිකානු ටයිගර් ෆිෂ් හෙවත් විටාටස් ටයිගර් ෆිෂ් අයත් වනුයේ ද ඔබ හොඳින් හඳුනන කුඩා නියෝන් ටෙට්‍රා මත්ස්‍යයා ගේ සිට පිරානා මත්ස්‍යයන් ද අයත් වන Characiformes ගෝත්‍රය ට ය. Tiger Fish, Tiger Characin, Ndweshi, Tiervis යන නම් වලින් ද හඳුන්වන මොවුන් අප්‍රිකානු කලාපය නිජබිම කරගත් මත්ස්‍යය කාණ්ඩයකි. ඉපැරණි ග්‍රීක බසින් ජලය යන අරුත ඇති ὕδωρ (Hydor = water ) සහ සුනඛයාට භාවිත වන κύων (kyon = dog ) වදන් එක්කර Hydrocynus ගණ නාමය සෑදී ඇති අතර ලතින් වදනක් වන vittatus යන්නෙහි අරුත “ඉරි සහිත/ ඉරි වැටුණු “ (Stripped) යන්නයි. ඒ අනුව සරලව ගත්කල ඉරි වැටුනු දිය බල්ලා යන අරුතින් යුතුව විද්‍යාත්මක නාමකරණය ලබා දී ඇති බව පැහැදිලි වේ.

අප්‍රිකානු කලාපයට ආවේණික Characiformes ගෝත්‍රයට අයත් මත්ස්‍යයන් අයත් වන Alestidae කුලයට මෙම ටයිගර් ෆිෂ් අයත් වන අතර එම කුලයට ගණ 18 කට අයත් විශේෂ 119ක් පමණ අයත් වේ. ඒ අතරින් ටයිගර් ෆිෂ් අයත් වනුයේ Hydrocynus ගණයට වන අතර එය විශේෂ පහකින් සමන්විත වේ. Hydrocynus vittatus හැරුණු විට අනෙකුත් විශේෂ 4 පහත ආකාර වන අතර එයින් විශේෂ තුනක් ම මේ වනවිට ශ්‍රී ලංකාවේ දී දැකගත හැකි ය.

මෙම පවුලේ විශාලතමයා ලෙස H. goliath සැලකෙන අතර H. tanzaniae කුඩාතමයා වේ. H. forskahlii හා H. vittatus සැලකීමේ දී ශරීර වර්ණයෙන් සමානකමක් දැකිය හැකි වුවද H. vittatus ගේ පෘෂ්ටීය සහ adipose වරල් තුඩු  මෙන්ම වල්ගා වරලේ කරු හැඩති කොටසේ කෙළවර කළු පැහැයක් ගනී. වල්ගා වරලේ එම කළු පැහැ පැල්ලම අඩසඳ ආකාර වේ.





Species
Common Names Maximum Length Maximum Weight


Hydrocynus vittatus (Castelnau, 1861)

Tiger Fish

Tiger Characin

Ndweshi

Tiervis 



105 cm


62 pounds


Hydrocynus tanzaniae (B. Brewster,1986)
Tansanian Tigerfish

Blue Tigerfish 

24.7 cm
(There is a record saying that fishermen caught a specimen more than 70 cm )




Hydrocynus forskahlii ( G. Cuvier,1819)
West African Tigerfish

Elongate Tigerfish



78 cm






 Hydrocynus brevis (Gunther,1864)
Egyptian Tigerfish

Tigerfish


86 cm



Hydrocynus goliath (Boulenger,1898)

Congo River Giant Tigerfish

Giant Tigerfish


133 cm


 (Measurements : www.fishbase.se ) 


දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම මත්ස්‍යය කාණ්ඩයට අයත් පැරණිතම ෆොසිල සාධක වාර්තා වනුයේ අපර මයෝසීනය යුගයේ දී වන අතර එම ෆොසිල හමුවී ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ Chad, Maronga, Turkana සහ Semliki ද්‍රෝණි ප්‍රදේශ වලිනි. ෆොසිල සාධක අනුව ඉන් පැරණිතම විශේෂය H. goliath වන අතර H. brevis සහ H. forskahlii අපර මයෝසීනය සහ ප්ලයෝසීන යුගයන් හිදී ප්‍රභේදනය වී ඇත. H.tanzaniae සහ  H.vittatus යන විශේෂයන් ද දක්නට ලැබෙන්නේ ප්ලයොසීන යුගයට පසුය. ඒ අනුව ඔවුන්ගේ බිහිවීම සිදුව ඇත්තේ ද ප්ලයෝසීන යුගයේ දී ය.


ව්‍යාප්තිය සහ වාසස්ථාන


අප්‍රිකානු මහාද්වීපය පුරාවටම පුළුල් ව්‍යාප්තියක් ඇති අප්‍රිකානු මහද්වීපයට සීමා වූ මත්ස්‍යය විශේෂයකි. ප්‍රදේශ වශයන් ගත්කල ඇන්ගෝලාව, බෙනින්, බොට්ස්වානා, බුර්කිනා ෆාසෝ, බුරුන්ඩි, කැමරූන් , මධ්‍යම අප්‍රිකානු ජනරජය , චාඩ්, කොන්ගෝව, එස්වාටිනි හෙවත් ස්වාසිලන්තය, ඉතියෝපියාව, ඝානාව, ගිනි, කෙන්යාව, මලාවි, මාලි, මොසැම්බික්, නැම්බියා, නයිජර්, නයිජීරියාව, සෙනගල්, දකුණු අප්‍රිකාව, දකුණු සුඩානය, සුඩානය , ටැන්සානියාව, ටෝගෝ ජනරජය උගන්ඩාව, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල  ස්වභාවික පරිසරයන්හි දී මොවුන් දැකගත හැකිය.

උණුසුම් හා හොඳින් ඔක්සිජන් ඇති විශාල ගංගා සහ ජලාශ මොවුන්ගේ වාසස්ථාන වේ. හොඳින් වැඩුණු විශාල මසුන් තනිව හැසිරුනත් අනෙකුත් මසුන් සම ප්‍රමාණයේ මසුන් හා රංචු වශයෙන් වාසය කරනු දැකිය හැකිය.


ශාරීරික හා ගති ලක්ෂණ

ස්වභාවික පරිසරයේ දී දිගින් සෙන්ටි මීටර 105 ක් හා බරින් රාත්තල් 62 ක් පමණ දක්වා වූ උපරිම වර්ධනයන් පෙන්වන මොවුන් මත්ස්‍යාගාර තුල දී ද අඟල් 30 කට වඩා විශාල ව වැඩුන අවස්ථා වාර්තා වී ඇත. ආයු කාලය වසර 10-15 අතර වේ.

ශරීර හැඩය සැලකීමේ දී දෙපසින්ම සිහින් වන දිගු ශරීරයකින් යුතු අතර වල්ගා වරල කරුවක් ආකාරයට බෙදුණු ස්වභාවයකින් යුතුය. හිසෙහි වඩාත් ප්‍රකට ලක්ෂණයක් ලෙස එක් හනුවකට 8 බැගින් පිහිටි තියුණු දත් සඳහන් කල හැකිය. හැඩයෙන් කේතු ආකාර (Conical) මෙම දත් ඉතා තියුණු ය. ඔවුන් මෙම දත් භාවිතයෙන් වැඩිපුරම සිදු කරන්නේ ගොදුරු ඉරීමට වඩා කැබලි කිරීමට බව සඳහන් වේ.

පින්තූර අයිතිය : රෂිත හංසක 

සමස්තයක් ලෙස ගත්කල සිරුර රිදීවන් නිලකට හුරු වර්ණයක් ගන්නා අතර සම්පුර්ණ සිරුර මුතුවන් රිදී පැහැති විශාල කොරල පේලි වලින් ආවරණය වී ඇත. ඇතැම් අවස්ථාවල රන්වන් වාත්තුවක් දැකිය හැකිය. සමහර මසුන්ගේ වරල් වල රතු සහ කහ වර්ණයන් දැකිය හැකිය.

ගති ලක්ෂණ සැලකීමේ දී දුටු පමණින් හඳුනාගත හැකි ආකාරයට ශරීර ප්‍රමාණයෙන් විශාල මෙන්ම දරුණු ගනයේ ලා සැලකිය හැකි මත්ස්‍යය විශේෂයකි.


ආහාර

මුලිකව මාංශ භක්ෂක මත්ස්‍යයෙක් ලෙස සැලකුනත් ස්වභාවික පරිසරයේ දී දිරායන කැටකැබලිති සහ ශාක කොටස්  (detritus and plant matter) ද සුළු වශයෙන් ආහාරයට එකතු කරගනියි. එහෙත් ස්වභාවික පරිසරයේ දී උග්‍ර විලොපිකයෙකි. කෑමට කෑදර මොවුන් අවටින් සපයාගත හැකි ආහාර මත යැපේ. මොවුන් ජල පෘෂ්ටය ට ඉහළින් පියාඹන කුරුල්ලන් ගොදුරු කරගැනීමේ විශේෂ හැකියාවකින් යුක්ත වේ. වැහි ලිහිණි (Barn swallows) විශේෂයක් වන Hirundo rustica පක්ෂීන් මෙලෙස ගොදුරු කරගන්නා ආකාරය ද.අප්‍රිකාවේ North-West විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා සහ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක වන නිකෝ ස්මිත් ඇතුළු කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් ග්‍රීෂ්ම සෘතුව තුල දී මොවුන් මෙසේ ආහාර සපයාගන්නා අතර දින 15ක කාලයක් තුල සාර්ථකව කුරුල්ලන් ගොදුරු කරගත් අවස්තාවන් 20ක් ඔවුන් නිරීක්ෂණය කර ඇත.


ටැංකියක ඇතිකරන අවස්ථා වල දී මාංශමය ආහාර ලෙස මසුන්, ඉස්සන් වැනි දේ ලබා දිය හැකිය. මුල් කාලයේ දී ජීවී ආහාර වලට පුරුදු වූ මත්ස්‍යයින් කල් යාමේ දී ශීතකළ ආහාර හෝ pellet සඳහා හුරුකරගැනීමේ හැකියාව ඇත. ජීවී ආහාර ඇති අවස්ථා වල දී සැකසු ආහාර ප්‍රතික්ෂේප කරන බව නිරීක්ෂණය කර ඇත.


ඇති කිරීම හා නඩත්තුව

ලබාදිය යුතු ආහාර වර්ග  හා ජල තත්වය පවත්වා ගැනීම ආදී කරුණු සැලකු විට ඇතිකිරීමට අපහසු මත්ස්‍යයෙකු නොවුනත් මොවුන්ගේ ශරීර ප්‍රමාණය, ආහාර ප්‍රමාණය ආදී කරුණු සැලකීමේ දී මොවුන් නඩත්තුවට වැයවන මුදල තරමක් වැඩි විය හැකි බැවින් ඒ සඳහා හැකියාවක් ඇති වීම වැදගත් ය. කුඩා පැටවුන් ලෙස පොඩි ඉඩක් ප්‍රමාණවත් වුවද, වැඩුන මසුන් සඳහා ගැලුන් 1000ක් හෝ ඊට වැඩි ඉඩ පහසුව සැලසිය යුතුය. තරමක් වැඩෙන තුරු සම ප්‍රමාණයේ මසුන් හා රන්චු ලෙස වාසය ප්‍රිය කල ද විශාල මසුන් තනිව විසීම ප්‍රියකරන අතර ඉතා කලහකාරී ව හැසිරේ. කුඩා පැටවුන් සම ප්‍රමාණයේ හෝ විශාල වෙනත් විශේෂ සමඟ එක්ව ඇතිකරන අවස්ථා ඇතත් කලහකාරී මොවුන් ඕනෑම අවස්තාවක අනෙක් මසුන් කැබලි බවට පත්කිරීමේ හැකියාවකින් යුක්ත බැවින් එය ඉතා අවධානම් සහගත ක්‍රියාවකි.


මාංශමය ආහාර හා අපද්‍රව්‍ය නිසා අපවිත්‍ර වන ජලය පිරිසිදු කිරීමට ගැලපෙන පෙරහන් පද්ධතියක් භාවිත කල යුතු අතර අපද්‍රව්‍ය ප්‍රමාණය අනුව සතියක් හැර සතියක් 30%-50% ක් පමණ ජල හුවමාරුවක් සිදුකල යුතු වේ.

මතුපිට , මධ්‍ය මෙන්ම පතුල් ස්තර වල හොඳින් පිහිනන ක්‍රියාශීලී මොවුන්ට හොඳ පිහිනුම් අවකාශයක් සකසා දිය යුතු වේ. සාමාන්‍ය ප්‍රමාණයේ ගලනයකින් යුතු පිරිසිදු ජලය සැපයීම කල යුතු වේ. ඒ සඳහා මුලින් සඳහන් කල පරිදි ප්‍රමාණවත් පෙරහන් පද්ධතියක් පවත්වාගෙන යා යුතු ය. මුල්, ශාක වර්ග කොට කැබලි ආදිය යොදාගෙන ටැංකිය අලංකරණය කල හැකි වුව ද හොඳ පිහිනුම් අවකාශයක් සකසා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.2-27.8 හා ph අගය 6.5-8.00 අතර පවත්වා ගැනීම හිතකර තත්ත්ව වේ.


අභිජනනය

බොහෝ ප්‍රදේශවල ආහාර ප්‍රභවයක් ලෙස ගැනෙන ටයිගර් ෆිෂ් ආහාරමය මත්ස්‍යය කර්මාන්තය සඳහා සාර්ථකව අභිජනනය කර ඇතත් විශාල ටැංකි වල අවශ්‍යතාවයත්, දුලබ මත්ස්‍යයෙක් නොවීම ත් යන කාරනා මත විසිතුරු මසුන් ලෙස අභිජනනය කල බවට තොරතුරු නොමැත.

ස්වභාවික පරිසරයේ දී වර්ෂා සමයේ දී අභිජනනය සිදු කරන අතර ඒ සඳහා මොවුන් ගංගා ඉහලට හෝ කුඩා  දිය පහරවල් කරා සංක්‍රමණය වේ. ගැහැණු මසුන් නොගැඹුරු දියේ ගිලී ඇති ශාක අතර බිත්තර විශාල සංඛ්‍යාවක් දමන අතර එහිදී එලියට එන පැටවුන් එම පරිසරයෙන් තම ආහාර අවශ්‍යතාවය පිරිමැසෙන තාක් කාලයක් රැඳේ. අනතුරුව ආහාර සොයා ප්‍රධාන ජලප්‍රවාහයන්ට සංක්‍රමණය වේ.


ලෙඩ රෝග

ගොඩක් ශරීරයෙන් විශාල වන මත්ස්‍යයන්ට වගේ ටයිගර් ෆිෂ් ටත් ඉඩ සහ ආහාර කියන කරුණු දෙක ගුණාත්මක ව සපුරල දෙන්න හැකියාවක් තිබේ නම් සෞඛ්‍යසම්පන්න මත්ස්‍යයෙක් ගේ සාඩම්බර හිමිකරුවෙක් වීම අපහසු කාරණයක් නොවේ. සරලව ම “පණ හයිය “ මත්ස්‍යයෙක් ලෙස හැඳින්විය හැකි මොවුන් හොඳින් නඩත්තු කිරීමෙන් රෝග වලින් තොර ව දිගු කාලයක් ජිවත් විය හැකි මසුන්. ටැංකියට බාහිරින් එකතු කරන දේවල් හොඳින් නිරෝධායනය කිරීමත් රෝග වලක්වා ගැනීමට ඉතා  වැදගත් වේ.

©janakiecjoseph20190919

Reference:
2.       Fenton P.D. Cotterill, Colleen O’Ryan, Paul Harvey Skelton, M.J. de Wit, 2011 Cryptic Diversity of African Tigerfish (Genus Hydrocynus) Reveals Palaeogeographic Signatures of Linked Neogene Geotectonic Events ­– Research Gate


Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2